ආර්ථික අභියෝග ජයගනිමින් තිරසාර වර්ධනයක් අත්පත් ගැනීම උදෙසා එක්සත් රාජධානියේ DCTS ප්‍රයෝජනයට ගත හැකි ආකාරය

Image 1

ශ්‍රී ලාංකේය ආර්ථිකයට සුවිසල් ශක්තියක් එක් කරන ඇඟලුම් කර්මාන්තය මේ වන විට තවත් තීරණාත්මක සන්ධිස්ථානයට පැමිණ ඇත්තේ මෙරට ආර්ථිකයේ හෙට දවස පිළිබඳව සුබවාදී බලාපොරොත්තු එක් කරමිනි. COVID-19 වසංගතයෙන් පසු ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථික අභියෝගයන් ජය ගැනීම සඳහා එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) තුළින් ශක්තියක් එක් කිරීමට කටයුතු කර ඇත. එහෙත් එම යෝජනා ක්‍රමය රටක වර්ධනයේ ප්‍රමුඛ සාධකයක් වන එරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත ඇති කරන බලපෑම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත.

 



 

මීට පෙර ඇඟලුම් කර්මාන්තය සඳහා විශේෂ වූ වරණීය තීරුබදු සහනය (GSP) වෙනුවට හඳුන්වා දී ඇති DCTS තුළින් ශ්‍රී ලංකාවෙන් අපනයන කරනු ලබන භාණ්ඩවලින් 99%කට වැඩි ප්‍රමාණයක් වෙත තීරු බදු රහිතව එක්සත් රාජධානියේ වෙළෙඳපොලට පිවිසීමේ සුවිශේෂී අවස්ථාව උදා කර දී තිබේ. ශ්‍රී ලාංකේය ඇඟලුම් සඳහා දෙවන විශාලතම වෙළෙඳපොල වන එක්සත් රාජධානිය මඟින් ලබා දී ඇති මෙම සුවිසල් අවස්ථාව අපනයනය ආර්ථිකය ඉහළ නංවා ගනිමින් ස්ථාවර ආර්ථිකයක් ගොඩනගා ගැනීමේ කදිම අවස්ථාවක් අප රටට උදා කර දී ඇත.

ශ්‍රී ලංකාවට DCTS වැදගත් වන ආකාරය පිළිබඳ පෙන්වා දුන් බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ  අධ්‍යක්ෂිකා මාරා වෝටර්ස් මහත්මිය සඳහන් කර සිටියේ “වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා පමණක් නොව හවුල්කාර රටවල තිරසාර සංවර්ධනය වෙනුවෙන් දායකත්වය ලබා දීමේ අරමුණක් ලෙස මෙම යෝජනා ක්‍රමය සඳහන් කළ හැකියි. ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම, රැකියා උත්පාදනය හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු සමස්ත ව්‍යාපාරික ප්‍රජාව වෙත වෙළෙඳාමේ ප්‍රතිලාභ සහතික කිරීම වැනි ප්‍රතිලාභයන් අත් කර දීමට මේ යෝජනා ක්‍රමය මඟින් බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

මෙම සහනය ආරම්භ කර පළමු මාස 11 ක කාලය තුළ එනම් 2023 ජූලි මස සිට 2023 මැයි මාසය දක්වා ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට ආනයනය කරන ලද භාණ්ඩවල සමස්ත වටිනාකම පවුම් මිලියන 571ක් පමණ විය. මෙම භාණ්ඩ අතුරින් පවුම් මිලියන 304ක භාණ්ඩ ඍජුවම DCTS සහනය ලබා ගැනීම විශේෂත්වයක් විය. ඒ තුළින් අදාල කාලය තුළ DCTS යෝජනා ක්‍රමය මඟින් ශ්‍රී ලාංකේය අපනයනයන් දිරි ගැන්වූ ආකාරය මැනවින් දැකගත හැකිවනු ඇත.

මෙහිදී භාණ්ඩ පහසුවෙන් සැපයීමේ හැකියාව පිළිබඳ DCTS හි අවධානය යොමු වී ඇති අතර තීරු බදු අඩු කිරීම්, මූලික නීති රීති ලිහිල් කිරීම හා වෙළෙඳ කොන්දේසි සරල කිරීම මඟින් එක්සත් රාජධානියේ වෙළෙඳපොල තුළ ශ්‍රී ලාංකේය නිෂ්පාදනයන්හි තරඟකාරීත්වයක් නිර්මාණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. අපනයන කර්මාන්තයේ ඉහළින්ම සිටින ඇඟලුම් සහ අමුද්‍රව්‍ය කර්මාන්ත සඳහා නම්‍යශීලී ආකාරයෙන් ආරම්භක නීති හා කොන්දේසි වෙනස් කිරීමට DCTS කටයුතු කරනු ලැබුවේ ඊට ශක්තිමත් අත්වැලක් සපයමිනි. මෙම නවතම නීති හේතුවෙන් ශ්‍රී ලාංකේය නිෂ්පාදකයින් හට තීරු බදු සහනය අහිමි කර නොගනිමින් වෙනත් රටවලින් අමු ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව උදා වූ අතර ගෝලීය වෙළෙඳපොල තුළ තරඟකාරීවත්යක් නිර්මාණය කිරීමටද හැකි විය.

එවන් තත්වයක් තුලදී වුව DCTS හිදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සැලකිය යුතු ආකාරයේ අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව දැකිය හැකිය. මෙම කර්මාන්ත අංශය නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංසදය (JAAF) විසින් DCTS හි මූලක අවශ්‍යතාවන් සම්බන්ධයෙන් වන වත්මන් නීතිමය තත්වයන් පිළිබඳව සිය කණස්සල්ල පළ කර ඇත. එහිදී එම සංසදය විසින් පෙන්වා දී ඇත්තේ මීට පෙර පැවති GSP+ යෝජනා ක්‍රමයට සමාන මෙම නීති රීති හේතුවෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට ඇඟලුම් කර්මාන්තයට ඇති හැකියාව සීමා කර ඇති බවයි.

නිෂ්පාදනයේදී භාවිත කරන රටවල් කිහිපයක ද්‍රව්‍ය ‘නිර්මාණ’ ලෙස හැඳින්වීමේ අවස්ථාව සළසා දෙන වෙළෙඳ යාන්ත්‍රණය JAAF විසින් මෙහිදී ඉදිරිපත් කරන එක් ප්‍රධාන නිර්දේශයක් ලෙස නම් කළ  හැකිය. මේ වන විට DCTS යෝජනා ක්‍රම යටතේ පවතින මූලික නීති රීති විමර්ශනය කිරීමට එක්සත් රාජධානියේ අවධානය යොමු කර තිබීම සතුටට කරුණක් වන අතර එසේ අවධානය යොමු වීම තුළින් අදාළ ගැටළු නිරාකරණය කිරීමට කටයුතු කළ හොත් ශ්‍රී ලංකාවට එය සුවිසල් ශක්තියක් වනු ඇති බව JAAF හි විශ්වාසයයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ JAAF හි මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවට දීර්ඝ එකතුවක් හෝ ද්විත්ව පරිවර්තන නීතිවල වෙනසක් ඇති කළ හැකි නම් දැනට 50% පමණ වන තීරුබදු රහිත ආනයන සඳහා සුදුසුකම් ලබන නිෂ්පාදන ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට හැකි වනවා. එසේම මේ මඟින් මෙරට ඇඟලුම් නිෂ්පාදකයින් සඳහා වන ප්‍රතිලාභ සැලකිය යුතු ලෙස ඉහළ යාමද සිදු වනවා.” යනුවෙනි.

DCTS හි මෙම තත්වය විශේෂයෙන් බලපානු ලබන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටය. එහිදී එම ව්‍යසායන්හි පහසුකම් වැඩි දියුණු කිරීම, නව තාක්ෂණය අනුගමනය කිරීම හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා අවශ්‍ය ශක්තිය සපුරා ගැනීමේ හැකියාව සීමා කිරීමට DCTS යෝජනා හේතු වී ඇත.

ශ්‍රී ලංකාවේ සැලසුම්කරණ හැකියාව හා තිරසාරත්වය හේතුවෙන් එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමයේ ඉහළ වටිනාකමක් සහිත වෙළෙඳපොල තුළ තරඟකාරීත්වයක් ලබා දීමේ අවස්ථාව ඊට උදා වන අතර චීනය මත යැපීමේ ප්‍රවණතාව අවම කිරීම තුළින් නව සංවර්ධන අවස්ථාවන් නිර්මාණය කිරීමේ හැකියාවද උදා වන බව මෙහිදී සඳහන් කළ හැකිය.

එක්සත් රාජධානියේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ ප්‍රධාන වෙළෙඳපොලවල් විසින් ඉදිරිපත් කර ඇති නව රෙගුලාසි හා නීති රීති තුළින් නිෂ්පාදකයින්ට පීඩනයක් ඇති කරනු ලබන්නේ සැපයුම්දාමයේ විනිවිදභාවය පවත්වා ගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට මෙය සංකීර්ණ තත්වයක් වන අතර එවන් තත්වයක් තුළ DCTS ඔවුන්ට උදා කරනු ලබන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවක් බව පැහැදිලිය. කර්මාන්ත, රජය හා ජාත්‍යන්තර හවුල්කරුවන් අතර වන මනා සහයෝගය තූලින් මෙම ගැටළුව ඵලදායී ආකාරයෙන් විසඳා ගැනීම හැකි වේ.

තවද මෙම යෝජනා ක්‍රමය යටතේ අතිරේක නිෂ්පාදන සඳහා වන තීරුබදු අඩු කිරීම සඳහා එක්සත් රාජධානිය විසින් ගෙන ඇති තීරණය මෙම යෝජනා ක්‍රමයේ විශේෂත්වය යළි යළි විදහා දැක්වීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් අපනයනයන ඉහළ නැංවීම ඉලක්ක කර ගෙන ඇති මෙම යෝජනාව ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රකෘති තත්වයට පත් කිරීමේදී ඉතා වැදගත් වේ. කෙසේ වුවද එහි අනාගතය තීරණය වන්නේ DCTS විසින් ඉදිරියේදී ගනු ලබන තීරණ මතයි.

ඒ අනුව මේ වන විට ඉතා තීරණාත්මක ස්ථානයක පසුවන මෙරට ඇඟලුම් කර්මාන්තයේ අනාගත දියුණුව වෙනුවෙන් සාර්ථක ඉදිරි මාවතක් සකස් කර දීමට DCTS කටයුතු කරනු ඇති අතර ඒ තුළින් මෙරට ආර්ථික දියුණුවටද ඍජුවම දායක වනු ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව