ආයෝජන දිරිගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකාව නැවතත් ‘ආයෝජක වීසා’ වැඩසටහන දියත් කරයි

Meeting photo 2 (LBN)

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ආයෝජන දිරිගැන්වීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන්, ආයෝජක වීසා වැඩසටහන යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම විදේශිකයන්ට මෙරට සහාධිපත්‍ය දේපළ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම වීසා ක්‍රමවේදය, 2024 ජූනි මස 01 දින සිට මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක වනු ඇත. 2024 මැයි 22 දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී පැවති රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත්කරන ලදි.

 



 

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ආයෝජක වීසා වැඩසටහන, විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ දේපළවල විධිමත් ලෙස ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දෙයි. ඉදිරි සතියෙහි සිට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ වීසා පිරිසැකසුම් කටයුතු මුළුමනින්ම අන්තර්ජාලය ඔස්සේ සිදුවන අතර, එම නිසා වීසා ක්‍රියාවලිය අතිශයින් සරල සහ කාර්යක්ෂම වනු ඇත.

මෙම වැඩසටහනේ එක් ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ, ශ්‍රී ලංකාවෙහි වෙසෙන විදේශිකයන්ට ආයෝජක වීසා සඳහා අයදුම් කිරීමට රටින් පිටව යාම අවශ්‍ය නොවීම ය. මෙමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට විදේශිකයන්ගේ දායකත්වය වඩාත් පුළුල් ලෙස ලබාගැනීමට හැකි වනු ඇති අතර, එය රටේ ඉදිකිරීම් හා දේපළ සංවර්ධන කර්මාන්තයටද මහඟු පිටිවහලක් වනු ඇත.

මෙම රැස්වීමට වීසා පාලක ඉන්දික මන්ත්‍රීරත්න සහ නියෝජ්‍ය වීසා පාලක රුවන් කන්නන්ගර යන මහත්වරුන් සමග ශ්‍රී ලංකා සහාධිපත්‍ය දේපළ සංවර්ධන සංගමයේ නියෝජිතයන් පිරිසක්ද සහභාගී වූ අතර එහිදී ආයෝජක වීසා ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් තීරණය කරන ලදි. එම සුදුසුකම් වන්නේ:

 

  1. අභ්‍යන්තර ආයෝජන ගිණුමකට විදේශ මුදල් බැරකර ඇති බවට බැංකුවක් මගින් නිකුත් කරන ලද සහතිකයක්
  2. ආයෝජනයෙහි අරමුණ පැහැදිලි කරමින් ආයෝජක විසින් ලබාදෙනු ලබන ප්‍රකාශයක් (ශ්‍රී ලංකාවේ සහාධිපත්‍ය සංවර්ධන ව්‍යාපෘතියකින් නිවසක් හෝ නිවාස කිහිපයක් මිලදී ගැනීම)

 

ඇමරිකානු ඩොලර් 100,000 ට වැඩි ආයෝජන සිදුකරන ආයෝජකයන්ට වසර 5 ක කාලයක් සඳහා වහාම වීසා නිකුත් කරනු ලබන අතර, අවශ්‍ය නම් එම වීසා කාලය දීර්ඝ කරගත හැකි වේ. ඇමරිකානු ඩොලර් 200,000 කට වැඩි ආයෝජන සඳහා නිකුත් කරනු ලබන වීසා වසර 10 ක කාලයක් සඳහා වලංගු වන අතර, මෙම වීසා වර්ග දෙකටම දින 5 ක කාලයක් ඇතුළත අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වනු ඇත.

ව්‍යාපාරකරණයට හිතකර පරිසරයක් නිර්මාණය කරන අතරම, රටට විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් දරනු ලබන ක්‍රමෝපායික ප්‍රයත්නයේ එක් අදියරක් වශයෙන් මෙම ආයෝජක වැඩසටහන වැඩිදියුණු කර යළි දියත් කරන ලදි.  වීසා ක්‍රියාවලිය පහසු කිරීම සහ වලංගු කාලය දීර්ඝ කිරීම මගින් ශ්‍රී ලංකාවට වඩාත් පහසුවෙන් විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට හැකි වනු ඇත.

මෙම ආයෝජක-හිතකාමී ප්‍රතිපත්තිය රටට ලැබෙන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය වැඩි කිරීමට දායක වනු ඇති අතර, එය ශ්‍රී ලංකාවට වඩාත් ශක්තිමත් ලෙස ගෝලීය ආර්ථිකය හා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙනු ඇත. මේ ආකාරයට විදේශ ආයෝජකයන් සඳහා වැඩි අවස්ථාවන් උදාකර දීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මෙන්ම රටේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනය දිරිගැන්වීමට හැකියාව ලැබේ.

ඉහත සඳහන් සෘජු ප්‍රතිලාභවලට අමතරව, දේපළ කර්මාන්තයට ලැබෙන විදේශ ආයෝජන මගින් තවත් කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිලාභ රාශියක් හිමි වන බව ලොව පුරා උදාහරණ මගින් සනාථ වී ඇත. දේපළ කර්මාන්තයට ලැබෙන ආයෝජන සෑම විටම පාහේ මහා පරිමාණ සහ දීර්ඝකාලීන ආයෝජන වන අතර, එය රටකට අතිශය පුළුල් පරාසයක විහිදුණු ප්‍රතිලාභ ළඟාකර දෙයි.

එමෙන්ම මෙම ආයෝජකයන් රටේ ජීවනෝපාය මාර්ගවල නිරත වීම, රථවාහන මිලදීගැනීම, කොටස් වෙළඳපොළේ ආයෝජන සිදුකිරීම, විනෝදාස්වාද කටයුතුවල නිරත වීම සහ ඔවුන්ගේ ඥාතීන් හා හිතමිතුරන් මෙරට පැමිණීම ආදියද සමස්තයක් ලෙස දීර්ඝකාලීනව රටකට ලැබෙන ප්‍රතිලාභ ලෙස පෙන්වා දිය හැක. මෙම තත්ත්වය ලොව පුරා සිද්ධි අධ්‍යයන මගින් තහවුරු වී තිබේ.

සෘජු විදේශ ආයෝජන දිරිගැන්වීම සඳහා දේපළ කර්මාන්තය සතු හැකියාව වටහාගෙන, සහාධිපත්‍ය දේපළ ක්ෂේත්‍රයට මෙතෙක් නොතිබූ පහසුකම් රාමුවක් ලබාදෙමින් එහි උන්නතිය වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගැනීම සැබැවින්ම ප්‍රශංසනීය ය.

මෙම නව පියවර, ආයෝජකයන්ට නව අවස්ථා රාශියක් උදාකර දෙමින්, රටේ ආර්ථික සංවර්ධනයට සුවිශාල දායකත්වයක් දක්වමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු නො-අනුමාන ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව