අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ කාගිල්ස් බැංකුව විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තබයි

Allianz partners with Cargills (LBN Fill)

 



 

 

 

ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ (Allianz SE) සාමාජිකයෙකු වන අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz Life Insurnace Lanka Limited) මෑතකදී කාගිල්ස් බැංකුව සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය. කාගිල්ස් බැංකුව යනු, ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම සමූහ ව්‍යාපාර අතරින් එකක් වන කාගිල්ස් සමූහයට අයත් බැංකුවකි. මෙම හවුල්කාරීත්වය යටතේ, කාගිල්ස් බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත බැංකු ණය රක්ෂණාවරණ පිරිනැමීමට අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙත අවස්ථාව ලැබේ. පසුගියදා කාගිල්ස් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී දෙපාර්ශවය විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතාද, කාගිල්ස් බැංකුව වෙනුවෙන් එහි සහකාර සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර) ලසන්ත මහේන්ද්‍රරාජා මහතාද මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර, දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

නව හවුල් කාරිත්වය පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා පවසා සිටියේ “ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය පුළුල් කිරීමට දායක වන ප්‍රධානතම සමාගමක් වශයෙන් අප සෑම විටම නව හවුල්කරුවන් සමග අත්වැල් බැඳගනිමින් ගනුදෙනුකරුවන්ට වැඩි ප්‍රතිලාභ පිරිනැමීමට උත්සාහ කරනවා. දැවැන්ත ජාත්‍යන්තර රක්ෂණ සමූහයක සාමාජිකයෙකු වශයෙන්, ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම තලයේ රක්ෂණ විසඳුම් සමගින් උපරිම වටිනාකමක්, පහසුවක් හා ගුණාත්මක සේවාවක් පිරිනැමීමේ හැකියාව අප සතුයි. එම නිසා, ශ්‍රී ලංකාවේ වඩාත්ම ඉදිරිගාමී බැංකුවක් වන කාගිල්ස් බැංකුව සමග අත්වැල් බැඳගෙන, ශ්‍රී ලාංකිකයන්ට විශිෂ්ට මට්ටමේ මූල්‍ය සේවාවන් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්.” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය යටතේ ගනුදෙනුකරුවන්ට ප්‍රධාන වශයෙන් බැංකු ණය රක්ෂණාවරණ විසඳුම් ලබාගත හැකි වනු ඇත. බැංකු ණය රක්ෂණාවරණය යනු, ණය ලබාගත් තැනැත්තෙකුගේ අකල් මරණය සිදු වුවහොත් එම ණය බර ඔහුගේ හෝ ඇයගේ පවුලේ යැපෙන්නන් වෙත පැවරීම වළක්වන ණය රක්ෂණ විසඳුමක් වේ. මෙම ණය රක්ෂණය, එක් අතකින් ණය සේවාවන් වැඩිදියුණු කිරීමට දායක වනු ඇති අතර, අනෙක් අතින් මෙය ණය ලබාගන්නා ගනුදෙනුකරුවන්ට මුහුණ දීමට සිදුවන අවදානම්ද අවම කරයි. ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවන්ට ගැළපෙන තවත් සේවාවන් රැසක් හඳුන්වා දීමට දෙපාර්ශ්වය සැලසුම් කර ඇත.

කාගිල්ස් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර) ලසන්ත මහේන්ද්‍රරාජා මහතා පවසා සිටියේ “සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දියුණුවේ මාවත් විවර කර දීමට කාගිල්ස් බැංකුව කැපවී සිටිනවා. මෙම හවුල්කාරීත්වය, ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීමටත්, එක්ව දියුණුව කරා යාමටත් දෙපාර්ශ්වයටම උපකාරී වේවි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඉදිරිගාමී බැංකුව මෙන්ම, කෘෂිකර්මාන්තය සහ අනෙකුත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සමග සමීපව ගනුදෙනු කරන බැංකුවක් වශයෙන්, අපගේ පොදු ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ජාත්‍යන්තර තලයේ රක්ෂණ සමාගමක් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අප උත්සාහ කරන්නේ ඉක්මන්, කාර්යක්ෂම, විශ්වාසනීය හා නිර්මාණශීලී මූල්‍ය විසඳුම් අපගේ ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමටයි. ඩිජිටල් ක්‍රමයට සේවාවන් ලබා දීම තුළින් ක්ෂේත්‍රය තුළ අප පුරෝගාමී දායකත්වයක් ලබාදුන් අංශයක්. ඒ වෙනුවෙන් අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් දක්වන කැපවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම හවුල්කාරීත්වය යටතේ දිගින් දිගටම අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමග සමීපව කටයුතු කරමින්, ගනුදෙනුකරුවන් වෙත නව විසඳුම් හා සේවාවන් පිරිනැමීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙනි.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව