අමානා බැංකුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ‘Market Mastery’ වැඩමුළුව සඳහා අනුග්‍රාහකත්වය

RC 04 (LBN)

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළඳපොළ සංගමය විසින් පවත්වන ලද ‘Market Mastery’ වැඩමුළුව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට අමානා බැංකුව පසුගියදා ඉදිරිපත් විය.  අනාගතයේදී නිවැරදි ආයෝජන තීරණ ගැනීමට හැකි වන ආකාරයට සිසුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මෙම සංගමයේ මූලික අරමුණයි.

 



 

ප්‍රාග්ධන වෙළඳපොළ සංගමය යනු ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම්පත් සහ විනිමය හුවමාරු කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළඳපොළ යන ආයතනවල මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වැඩසටහනකි. පාසල් සිසුන් තුළ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරන අතරතුර ඔවුන්ට කාර්යක්ෂම ලෙස මුදල් කළමනාකරණය සිදුකරන ආකාරය පිළිබඳ දැනුම  දෙමින්, අඩු-අවදානම් මූල්‍යමය පුරුදු පවත්වාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට පූර්ණ අවබෝධයක් ලබාදීම මෙම ආයතනවල පොදු ඉලක්කය වී තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණු ‘Market Mastery’ වැඩමුළුවට බස්නාහිර පළාතේ පාසල් 18 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 කට අධික පිරිසක් සහභාගී වූහ. කොටස් වෙළඳපොළ වෘත්තිකයන් රැසක් මෙම වැඩමුළුවට සම්පත් දායකත්වය ලබාදුන් අතර, ඔවුන් විසින් කොටස් වෙළඳපොළේ මූලධර්ම, ආයෝජන ක්‍රමෝපායන්, මූල්‍ය විශ්ලේෂණය සහ පර්යේෂණ ක්‍රමවේදයන් ආදිය සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කරන ලදි. අමානා බැංකුවේ දැනුම් අලෙවිකරණ සහ මූල්‍ය අන්තර්කරණ ප්‍රධානී මුආත් මුබාරක් මහතාද මෙම වැඩමුළුවේදී විශේෂ දේශනයක් පැවත්වී ය. එහිදී ඔහු විසින් ආයෝජනයේ සහ පෞද්ගලික මූල්‍ය කළමනාකරණයේ වැදගත්කම විස්තර කරන ලද අතර, පොලිය පදනම් කර නොගත් බැංකුකරණ ආකෘතිය සම්බන්ධයෙන්ද සිසුන් දැනුවත් කරන ලදි.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත්කර ඇති, ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශ මාලාවට (2024-2028) සමගාමීව අමානා බැංකුව මේ වනවිට පාසල් හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, රජයේ සේවක සේවිකාවන්, ව්‍යවසායිකාවන්, ව්‍යාපාරිකයන් සහ රටේ විවිධාකාර වූ අවදානම්වලට මුහුණ දී සිටින ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් පැවැත්වීමට පියවර ගෙන තිබේ. ‘Market Mastery’ වැඩමුළුවට අනුග්‍රහය දැක්වීම එම උත්සාහයේ තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක.

මෙම වැඩසටහන වෙනුවෙන් අමානා බැංකුව ලබාදුන් සහයෝගයට ස්තූතිය පළකරමින්, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා මෙසේ තම අදහස් දැක්වී ය. “අනුග්‍රාහකයෙකු ලෙස ඉදිරිපත් වෙමින්, ප්‍රාග්ධන වෙළඳපොළ සංගමයේ ‘Market Mastery’ වැඩමුළුව සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදීම පිළිබඳව අප අමානා බැංකුවට බෙහෙවින් ස්තූතිවන්ත වනවා. මෙය කොටස් වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට සිසුන්ට මහෝපකාරී වූ වැඩසටහනක් ලෙස හැඳින්වීමට පුළුවන්.”

මෙම අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් අමානා බැංකුවේ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි මහතා ද මෙසේ අදහස් පළකළේ ය. “රාජකීය විද්‍යාලයේ ප්‍රාග්ධන  වෙළඳපොළ සංගමයට සහය දැක්වීම යනු, ශ්‍රී ලංකාවේ අනාගත නායකයන් වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් ලෙස අප දකිනවා. මෙහිදී ඔවුන්ට දැනුවත්ව මූල්‍යමය තීරණ ගැනීමට අවශ්‍ය දැනුම ලබාදීමට අපට හැකියාව ලැබුණා. මූල්‍යමය වශයෙන් වගකීම් සහගත ලෙස කටයුතු කරමින් ආර්ථික අභියෝගවලට මුහුණ දීමට ශක්තිය ඇති ජනතාවක් බිහිකිරීමට මෙබඳු වැඩසටහන් තීරණාත්මක මෙහෙවරක් ඉටුවන බව අප විශ්වාස කරනවා. එමගින් අපට ශ්‍රී ලංකාව දියුණුව හා සෞභාග්‍යය කරා රැගෙන යාමට හැකියාව ලැබේවි.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව