අභියෝග මධ්‍යයේ කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු පළමු කාර්තුව තුළදී රුපියල් ටි‍්‍රලියන 2 ඉක්මවයි

Commercial Bank Chairman Prof. Ananda Jayawardane & Managing Director and CEO Mr Sanath Manatunge (LBN)

 



 

 

කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු පදනම 2023 පළමු කාර්තුවේදී රුපියල් ටි‍්‍රලියන 2 ඉක්මවා ගොස් ඇති අතර, වෙනස් වන විනිමය අනුපාත සහ වෙළෙඳපොළ පොලී අනුපාතවල අඛණ්ඩ බලපෑම් සහ ව්‍යාපාර ක්ෂේත‍්‍ර ගණනාවකට සිදුවූ ආර්ථික පසුබෑම් හමුවේ එය සුවිශේෂී සන්ධිස්ථානයකි.

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ අනුබද්ධ සමාගම් සමන්විත සමූහය, 2023 මාර්තු 31 දිනෙන් අවසන් වන මාස 03 සඳහා කැපී පෙනෙන මෙහෙයුම් ලාභ වාර්තා කර ඇත. එහිදී දළ ආදායම රුපියල් බිලියන 84.149 දක්වා 54.20%කින් ද, පොලී ආදායම රුපියල් බිලියන 75.939 දක්වා 100.65% කින් ද වර්ධනය වී ඇත. එසේම 2022 පළමු කාර්තුවට සාපේක්‍ෂව ගාස්තු හා කොමිස් ආදායම රුපියල් බිලියන 7.301 දක්වා 35.37%කින්ද වර්ධනය වී ඇත.

සමූහයේ පොලී ආදායම් වර්ධනයට හේතු වූයේ වෙළෙඳපොළ පොලී අනුපාතවල තියුණු වැඩිවීමක් වන අතර, සලකා බලන කාල සීමාව තුළ ණය ආදායමේ 84.75%ක වර්ධනයක් සහ රාජ්‍ය සුරැකුම්පත්වලින් ලැබෙන ආදායමේ 127.98%ක වැඩිවීමක් ජනනය විය. කෙසේ වෙතත්, එම සාධකයම එම කාලය තුලදී පොලී වියදම් රුපියල් බිලියන 37.940කින් හෙවත් 199.43%කින් රුපියල් බිලියන 56.964 දක්වා ඉහළ යෑමට හේතු වූ අතර, සමූහයේ තැන්පතු සඳහා වන පොලී වියදම් 258%කින් වැඩි විය.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කාර්තුව සඳහා සමූහය වාර්තා කළ රුපියල් බිලියන 18.975ක ශුද්ධ පොලී ආදායම 0.81%ක ආන්තික වර්ධනයක් පෙන්නුම් කළේය.

සලකා බලන කාලසීමාව තුළ රුපියලේ අගය ඉහළ යෑමේ සන්දර්භයට අදාළව විදේශ මුදලින් සමූහයේ වත්කම් නැවැත තක්සේරු කිරීම හේතුවෙන්, සමූහයේ මුළු වත්කම් 2023 මාර්තු 31 වන විට රුපියල් ටි‍්‍රලියන 2.492 දක්වා ආන්තික ලෙස 0.29%කින් අඩු විය. සමූහයේ දළ ණය සහ අත්තිකාරම් මාස 03 තුළ 4.73%කින් රුපියල් ටි‍්‍රලියන 1.187ක් දක්වා අඩු වී ඇත්තේ රුපියලේ අගය ඉහළ යෑමේ හේතුවෙනි. සමූහයේ මුළු තැන්පතු රුපියල් ටි‍්‍රලියන 02 සීමාව ඉක්මවා 2.31%කින් වර්ධනය වී, 2023 මාර්තු 31 වන විට රුපියල් ටි‍්‍රලියන 2.023 දක්වා ප‍්‍රථම වරට ළගා විය. මෙයට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, රුපියල් තැන්පතු ඉහළ යෑම සහ රුපියලේ අගය ඉහළ යෑම හේතුවෙන්, විදේශ මුදල් තැන්පතුවල වටිනාකම අඩු වීමය.

මෙම ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා අවධාරණය කළේ, ‘අපේක්‍ෂා කළ හැකි පරිදි අපගේ කාර්යසාධනය පෙන්නුම් කරන්නේ, දුර්වල ආර්ථිකයක් හේතුවෙන් පැනන`ගින පොලී සහ විනිමය අනුපාතවල අස්ථාවරත්වය සහ හානිපූරණ සඳහා ඉහළ ප‍්‍රතිපාදන වෙන් කිරීමට සිදුවීමෙන් ඇති වන බලපෑමයි. අප වාර්තා කර ඇති ශක්තිමත් ආදායම් වර්ධනය, අපගේ මූලික බැංකු ව්‍යාපාරයේ අඛණ්ඩ ගම්‍යතාවය තහවුරු කරනවා. ඒ සමඟම කාර්ය සාධනය කෙරෙහි බලපාන විවිධ සාධක කළමනාකරණය කිරීම සඳහා කි‍්‍රයාත්මක කරන විචක්‍ෂණශීලී සහ දුරදර්ශී පියවර හරහා ලාභයේ පහත වැටීම නොවැළැක්විය හැකි වනවා’ යන්නය.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අවධාරණය කළේ, ‘පවතින කොන්දේසි අනුව මාස 03කට රුපියල් බිලියන 25ක මෙහෙයුම් ආදායමක් පළ කිරීම මූල්‍ය වර්ෂයේ යථාර්ථවාදී ආරම්භයක් ලෙස සැලකිය හැකියි. ව්‍යවස්ථාපිත නියාමන අවශ්‍යතාවලට වඩා සැලකිය යුතු මට්ටමකින් අපගේ ද්‍රවශීලතාවයද ප‍්‍රග්ධන ප‍්‍රමාණත්වයද පවත්වාගෙන තිබෙනවා. විශේෂයෙන්ම බැංකු අංශයට තවමත් ඉදිරියෙන් ඇති අභියෝගවල සන්දර්භය තුළ මේවා වැදගත් දර්ශකයින් වේ’ යනුවෙන්ය.

සලකා බලන කාර්තුව තුල සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම 26.16%කින් රුපියල් බිලියන 25.287ක් දක්වා පහත වැටී ඇති අතර, සමූහය විසින් මාස 03ක කාලය සඳහා රුපියල් බිලියන 6.797ක හාණිපූරණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා ප‍්‍රතිපාදන ලබාදී ඇත. එය 2022 පළමු කාර්තුවේ අගයට වඩා 14.04%ක වැඩිවීමකි.

කාර්තුව සඳහා සමූහයේ ආදායම් බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 6.741ක් දක්වා 58.91%කින් අඩු වූ අතර රුපියල් බිලියන 4.359ක සමූහ ශුද්ධ ලාභය 2022 පළමු කාර්තුව සඳහා වාර්තා කරන ලද ශුද්ධ ලාභයට වඩා 62.98%ක අඩුවීමක් නියෝජනය කරයි.

කොමර්ෂල් බැංකුව වෙනම ගත් විට මෙම කාර්තුව සඳහා රුපියල් බිලියන 6.337ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර ඇති අතර, එය 60.61%කින් පහත වැටී ඇත. එසේම බදු ගෙවීමෙන් පසු ලාභය 64.57%කින් රුපියල් බිලියන 4.091 දක්වා අඩු විය.

අනෙකුත් ප‍්‍රධාන දර්ශක අතර 2023 මාර්තු 31 වන විට බැංකුවේ පළමු පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය සහ සමස්ත ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය පිළිවෙලින් 11.942% සහ 15.141% ලෙස පැවැති අතර, ව්‍යවස්ථාපිත අවම අනුපාත වන 10% සහ 14% යන දෙකටම වඩා ඉහළින් පැවැතිනි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 270 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 950 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව