අදානි සුලං බලාගාරයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එලියක්! අතුරු තහනම් නියෝගයක් නෑ .. අදානි ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට .

Wind Renewable energy

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සැලකිය යුතු වර්ධනයක් ඇති කිරීමේ අරමුණින් රට තුළ ක්‍රියාත්මක වන අදානි සමූහ ව්‍යාපාරයේ සුලං විදුලි බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් කල් තියා විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. බලශක්ති තිරසාර භාවය සහ ආර්ථිකය වෙනුවෙන් අදාළ ව්‍යාපෘතියේ වැදගත්කම මූලික කර ගනිමින්  අදාළ නඩුව විභාග කිරීම සඳහා පූර්ණ පංච පුද්ගල ජ්‍යෙෂ්ඨ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

 



 

අදානි සමාගම සමග ඉදිරි වසර 20ක කාලය සඳහා කිලෝ වොට් ඒකකයකට ඇ.ඩො ශත 8.26 බැගින් වූ  බලශක්ති මිල දී ගැනීමේ ගිවිසුමකට (PPA) ඇතුළු වීම සඳහා 2024 මැයි 6 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද කැබිනට් තීරණයට එරෙහිව වනජීවී හා පරිසර ආරක්ෂණ සංගමයේ  (WNPS) ආචාර්ය රොහාන් පෙතියාගොඩ සහ තවත් පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි .

පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව ජයවර්ධන සහ සේනානි දයාරත්න යන මහත්වරු පෙත්සම් විභාගය කඩිනමින් විභාග කරන දිනයක් ඉල්ලා සිටියත්, මෙම නඩුව 2024 ඔක්තෝබර් 14 සහ 29 යන දිනවල ලැයිස්තු ගත කිරීමට අධිකරණය ඒකමතිකව තීරණය කළ අතර, කල් තියා විභාගයට බල කිරීමෙන් නඩුව 2025 මාර්තු දිනයක් දක්වා ගමන් කළ හැකි බව අවධාරණය කළ විනිසුරු මඩුල්ල මෙම අදියරේ දී කිසිදු අතුරු සහනයක් ලබා නොදෙන බව පැහැදිලි කළේය .

අදානි සුළං බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් එය ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම පුනර්ජනනීය බලශක්ති ආයෝජනය ලෙස ඉතිහාස ගත වන අතර, එහි සමස්ත වටිනාකම ඇ.ඩො බිලියන 1කි. මෙගාවොට් 484 ක ධාරිතාවකින් සමන්විත වන එය දේශයේ විශාලතම සුළං බලාගාරය බවට පත්වන අතර එම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට ද නියමිතයි. මෙම ව්‍යාපෘතිය රට තුළ වැඩිම දුරක් ඇදෙන කිලෝ වොට් 400ක විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ වන අතර එමගින් මෙගාවොට් 1200 දක්වා තවත් නව පුනර්ජනනීය බලශක්ති බලාගාර ඊට  සම්බන්ධ කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් වසරකට රටට රු.බිලියන 30ක පමණ ඉතිරියක් සහ විදුලි ඒකකයකට පාරිභෝගිකයෙකු ගෙවන ගාස්තුව රු 17කින් පමණ අඩු කිරීමේ වාසිය සහ තවත් මහඟු ප්‍රතිලාභ රැසක් ලැබෙන බවත්, මෙමගින් දැනට රට තුළ ක්‍රියාත්මක කළ හැකි අවම සුළං විදුලි බල ගාස්තුවද රටට හිමි වන බවත් ව්‍යාපෘති යෝජකයින් අවධාරණය කරයි .

යම් කිසි ලෙසකින් මෙම ආයෝජනයෙන් අදානි සමාගම ඉවත් වුවහොත් එය ශ්‍රී ලංකාවට සැලකිය යුතු සෘජු විදේශ ආයෝජන අහිමි වීමක් විය හැකි අතර, , එය  පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ආයෝජකයින්ට සෘණාත්මක පණිවුඩයක් වීමට ඉඩ ඇති බවත් විශ්ලේෂකයන් අනතුරු අඟවා සිටියි . එමෙන්ම මෙවන් මහා පරිමාණයේ ව්‍යාපෘතියක් කිරීමට වෙනත් කිසිදු ආයෝජකයෙකු දැනට ඉදිරිපත් වී නොමැති බව ඔවුන් තව දුරටත්  පවසා සිටියි.

ශ්‍රී ලංකාවට අසීරුතම අභියෝගාත්මක කාල සීමාවල දී පවා අදානි සමූහ ව්‍යාපාරයේ අඛණ්ඩ ඉදිරිපත් වීම රටේ සංවර්ධනය සඳහා ඉවහල් වූ අතර , මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉදිරි ගමනට සහ විදේශ ආයෝජන සඳහා ද සැලකිය යුතු බලපෑමක් ලෙස හැඳින්විය හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව