අඛණ්ඩව දෙවන වසරටත් ජනශක්ති ලයිෆ් බිලියන 5 කට අධික ලාභයක් වාර්තා කරයි

JL (LBN)

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළ රුපියල් බිලියන 5.7 ඉක්මවූ බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙය ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම අඛණ්ඩව රුපියල් බිලියන 5 ඉක්මවූ බදු පෙර ලාභයක් වාර්තා කළ දෙවන අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසුවේ, “2024 දී අප වාර්තා කිරීමට සමත් වූ ශක්තිමත් මූල්‍ය වර්ධනය තුළින් අප අනුගමනය කළ උපායමාර්ගවල සාර්ථකත්වයට, මෙහෙයුම් විශිෂ්ටත්වයට සහ රක්ෂණ ඔප්පු හිමියන් වෙත ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් අපගේ කැපවීමට හොඳම සාක්ෂියක්. සමාලෝචිත කාල සීමාවේ වෙළෙඳපොළ තුළ පැවති විවිධ අභියෝග ජය ගනිමින්,  අඛණ්ඩ වර්ධනයක් වාර්තා කිරීම සහ රක්ෂණ ඔප්පු හිමියන්ට හා සියලුම කොටස්කරුවන්ට සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමට හැකිවීම පිළිබඳව මා මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ ඉමහත් සතුටින්. අප ලබාගත් මෙම වර්ධනය අදාළ කාල වකවානුව තුළ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයට සාපේක්ෂව දෙගුණයක වර්ධනයක් බව පැවසිය යුතුමයි. සමාලෝචිත කාල සීමාව තුළ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමේ ආදායම් වර්ධනය රුපියල් බිලියන 6.6 ඉක්මවනවා. ඒ වගේම 2024 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ වර්ෂය තුළ රුපියල් බිලියන 5.7 ඉක්මවන බදු පෙර ලාභයක් වාර්තා කිරීමට හැකිවීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.” යනුවෙනි.
 



 
තවද, 2025 වසරේදී වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස සිය ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගැනීමට ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම නිරන්තරයෙන් කැපවන අතර, ඒ වෙනුවෙන් රක්ෂණ ක්ෂේත්‍රය තුළ පවතින විවිධත්වයෙන් යුත් අවශ්‍යතා සඳහා සරිලන රක්ෂණ විසඳුම් හඳුන්වා දීමට සහ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම සූදානමින් සිටී. ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීමේ පුරෝගාමියෙකු ලෙස ශක්තිමත් ඩිජිටල් සේවා ක්‍රියාත්මක කරනු ලබන ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමේ මුළු වත්කම් පදනම 2024 වසර අවසන් වන විට රුපියල් බිලියන 38ක් ලෙස වාර්තා වූ අතර, එමඟින් සමාගමේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබිඹු වේ. එමෙන්ම ප්‍රධාන මූල්‍ය දර්ශකයක් ලෙස හැඳින්විය හැකි, ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතය 277% ඉක්මවීම ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමේ විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණය ඉස්මතු කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේය.

මෙම කාර්ය ඵලය පිළිබඳව අදහස් දැක්වූ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමේ සභාපතිනි අනිකා සේනානායක මහත්මිය සඳහන් කර සිටියේ, “අපගේ සියලුම කොටස්කරුවන් වෙනුවෙන් තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම කෙරෙහි ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. 2024 වසරේදී අප ලබාගත් මෙම වර්ධනය තුළින් අපගේ මූල්‍ය ශක්තිය වගේම අත්‍යවශ්‍ය අවස්ථාවලදී රක්ෂණ ඔප්පු හිමියන් වෙත සහයෝගය ලබාදීම වෙනුවෙන් අපගේ කැපවීම පිළිබිඹු කරනවා.  අපගේ හිමිකම් ගෙවීමේ ක්‍රියාවලියේ වර්ධනය තුළින් පාරිභෝගික විශ්වාසය වර්ධනය කර ගනිමින්, ඔවුන්ට මානසික සහනය අත්කරදීම වෙනුවෙන් අපගේ  කැපවීමට සාක්ෂි සපයන බවත් පැවසිය යුතුමයි. ඒ අනුව 2024 වසරේ දී, අපි අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් බිලියන 4.2 කට අධික ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කර තිබෙනබව පැවසිය යුතුමයි.  අනාගතයේදී පාරිභෝගික අවශ්‍යතා කේන්ද්‍ර කරගත් රක්ෂණ විසඳුම් ලබාදීම හරහා ශ්‍රීලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වීම අපගේ ප්‍රධානතම අරමුණක්. ඒ වගේම මෙම වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා  මානව සම්පත්, තාක්ෂණය සහ නවෝත්පාදන වෙනුවෙන් නිරන්තරයෙන් ආයෝජනය කිරීමට අපි කටයුතු කරන බවත් අවධාරණය කිරීමට කැමතියි.” යනුවෙනි.

සමාලෝචිත වර්ෂය තුළ කැපීපෙනෙන ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම සමත් වූ අතර, 63%කට අධික නව ව්‍යාපාර වාරික වර්ධනයක් වාර්තා කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. ඊට අමතරව, පස්වන ‘Asia’s Best and Emerging Insurance Company Awards’ සම්මාන උළෙලේදී ආසියාවේ හොඳම නවෝත්පාදන රක්ෂණ සමාගමට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, ජාත්‍යන්තර මූල්‍ය සම්මාන, ව්‍යාපාර පිනැකල් සම්මාන, ව්‍යාපාර ටැබ්ලොයිඩ් සම්මාන, ගෝලීය බැංකු මූල්‍ය සම්මාන (2024), SLITAD ජනතා සංවර්ධන සම්මාන සහ TAGS සම්මාන වැනි කීර්තිමත් සම්මාන රාශියකින් පිදුම් ලැබීම එම සමාගමේ සාර්ථකත්වයට උදාහරණ සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව