සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී නව ප්‍රධාන විධායක නිලධාරී ඉවෝන් බ්‍රෝහියර්

Softlogic Finance PLC appoints Ivon Brohier as new Chief Executive Officer (LBN)

 



 

 

සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමුහයට අනුබද්ධිත සමාගමක්වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය 2023 මාර්තු 27 වන දින සිට බලපැවෙත්වෙන පරිදි පත් වූ බව සමාගම නිවේදනය කරයි. මින් පෙර එම සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය සහ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස සේවයකර ඇති බ්‍රෝහියර් මහත්මිය සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමෙහි ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය වීම ද විශේෂත්වයකි.

අවුරුදු 15කට අධික පළපුරුද්දක් ඇති බ්‍රෝහියර් මහත්මිය, සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ වර්ධනයට සහ සාර්ථකත්වයට අවශ්‍ය ව්‍යාපාරික උපායමාර්ග, මූල්‍ය වාර්තාකරණය, උපාය මාර්ගික මූල්‍ය කළමනාකරණය, පද්ධති වැඩිදියුණු කිරීම, තොරතුරු පද්ධති සහ ව්‍යවස්ථාපිත විගණන හැසිරවීම පිළිබද මනා දැනුමකින් සහ අත්දැකීම් සම්භාරයකින් යුතු වෙයි.

මෙම නව තනතුර යටතේ, වඩාත් විශිෂ්ට ලෙස පාරිභෝගිකයින් සහ පාර්ශ්වකරුවන් හට සේවය සැලසීම සඳහා කණ්ඩායම ප්‍රතිව්‍යූහගත කිරීම සහ ඩිජිටල් හැකියා වර්ධනය කිරීම ඇතුළු ක්‍රමෝපායික පරිවර්තනීය ක්‍රියාමාර්ග හරහා සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගමේ ක්‍රමෝපායික සැලසුම ඉදිරියට ගෙන යාම ඇයගේ වගකීමවනු ඇත. එමෙන්ම එම සමාගම, මුල්‍ය ප්‍රතිසාධනය සඳහා දූරදර්ශී සහ ශක්තිමත් ප්‍රවේශයක් අනුගමනය කිරීමට අමතරව, පුළුල් පාරිභෝගික පිරිසකට නවෝත්පාදන මුල්‍ය සේවා පිරිනමමින් මෙතෙක් අවධානයට ලක් නොවූ ණය වෙළෙඳපොළ පුළුල්කර ගැනීම සඳහා ද මේවන විට අවධානය යොමුකර තිබේ.

“සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස්හි නව වර්ධන යුගයක් ආරම්භ කිරීමට ලැබුණු මෙම අවස්ථාව මා ගෞරවයක් සේ සලකනවා. අපගේ පාර්ශවකරුවන්ගේ සහ පරිපාලක සමාගමවන සොෆ්ට්ලොජික් කැපිටල්හි නොසැලෙන සහයෝගය මත, දිගුකාලීන ස්ථාවරත්වය සහතික කිරීමට සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගමට ඉදිරියේදී ද හැකියාව පවතින බව මාගේ විශ්වාසයයි. අපගේ ශක්තීන්වලින් උපරිම ප්‍රයෝජන ගෙන මගේ දක්ෂ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මා බලාපොරොත්තුවනවා. ඒ ඔස්සේ යමින් තිරසර හා ඵලදායී වර්ධනයක් ඇතිකිරීම අපගේ අරමුණයි,” යනුවෙන් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගමේ අභිනව ප්‍රධාන විධායක නිලධාරී ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය සඳහන් කළාය.

2020 වර්ෂයේදී සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කිරීමට පෙර, බ්‍රෝහියර් මහත්මිය ශ්‍රී ලංකාවේ කීර්තිමත් මූල්‍ය ආයතන කිහිපයක නායකත්ව භූමිකාවන්හි කීර්තිමත් වෘත්තීයභාවයක්  හෙබවූ  අයෙකි. ඇය, අබාන්ස් ෆයිනෑන්ස් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය සහ ප්‍රධාන මුල්‍ය නිලධාරිනිය ලෙසත්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මුල්‍ය වාර්තාකරණ සහ පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනිය ලෙසත්, AMW කැපිටල් ලීසිං සහ ෆයිනෑන්ස්  සමාගමේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකාරිනිය ලෙසත් කටයුතුකර ඇත.

බ්‍රෝහියර් මහත්මිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) යාවජීව සාමාජිකාවකවන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියකට සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ BSc උපාධියකට ද හිමිකම් කියයි.

2011 අංක 42 දරන මුල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මුල්‍ය සමාගමක්වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී, 2000 අංක 56 දරන මුල්‍ය කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී විශේෂඥ කල්බදු සමාගමක් ද වෙයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව