සෙලින්කෝ ලයිෆ් යළිත් වතාවක් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය බවට පත්වෙයි

Ceylinco Life Head Office

 




 

 

  • බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් තෝරාගත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 100 අතුරින් 33 වන ස්ථානය හිමිකර ගනිමින් AA සන්නාම වර්ගීකරණය දිනාගනී

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්හි 18 වන වර්ගීකරණයේ සෙලින්කෝ ලයිෆ් සමාගම නැවත වතාවක් 2021 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර තිබේ.

මෙහිදී, සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 3,508 ක් යැයි සන්නාම තක්සේරු කිරීමේ ලොව ප‍්‍රමුඛතම ආයතනයක් වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ගණනය කර තිබෙන අතර සමස්ත වටිනාකම අනුව සන්නාමයේ ස්ථානය 33 ලෙස වර්ගීකරණය කර තිබේ. මෙම සමස්ත ස්ථානය ගිය වසරේ සිට නොවෙනස්ව තිබෙන අතර මෙම ලැයිස්තුවට විශාල බැංකු, විදුලි සංදේශ සමාගම්, සිල්ලර අංශයේ දැවැන්තයින් ඇතුළත් වන ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 100 ඇතුළත් වේ.

පසුගිය වසර 17 පුරාම ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වූ සෙලින්කෝ ලයිෆ් මේ වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වෙතින් ‘AA’ සන්නාම වර්ගීකරණයක් ලබාගෙන ඇත.

ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සමාගම දිනාගත් සන්නාම නායකත්වය පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘සමාගමේ රූපමය හඳුනා ගැනීමට වඩා අපගේ සන්නාමය ඉතා ගැඹුරු කාර්යයක් ඉටු කරනවා යැයි අපි විශ්වාස කරනවා. එම සන්නාමය තුළින් සමාගමේ ප‍්‍රධාන වටිනාකම් සහ ආචාර ධර්ම පිළිබඳව හැඟීමක් සියළු පාර්ශවකරුවන්ගේ මනස තුළ ඇති කරනවා. අපි මේ තත්ත්වය ලබාගෙන තිබෙන්නේ සන්නාම පොරොන්දු ඉටුකිරීමෙන් සහ අවංකභාවය මෙන්ම විශ්වාසය ගොඩනගා ගැනීම මගිනුයි. සමාගම විසින් ලබාදෙන ආරක්ෂාව මගින් මිලියන ගණනක ජනතාවගේ අනාගතය අවධානමෙන් මුදවා ගැනීමේ නියෝජනයක් ලෙස සෙලින්කෝ ලයිෆ් සන්නාමය මේ වනවිට හොඳින් ස්ථාවර වී තිබෙනවා.’

බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්ට අනුව සන්නාමයේ ශක්තිය, ව්‍යාපාරික කාර්යසාධනය සහ අභ්‍යන්තර වෙනස්කම් වෙනුවෙන් ලබාදෙන එක් එක් වටිනාකම් වලට අනුව සන්නාමයේ වටිනාකම ගණනය කරනු ලබයි. සාමාන්‍යයෙන් වෙළෙඳ සලකුණේ වටිනාකම සහ අනුබද්ධ බුද්ධිමය දේපොළ ඇතුළත් වන සන්නාමයේ වෙනස් වන අංගයන් ගණනය කිරීම මගින් නිශ්චිත වත්කම් තක්සේරු කිරීමක් මෙමගින් විස්තර කරයි.

ISO 10668 කර්මාන්ත ප‍්‍රමිතිය සමග අනුකූල වන සන්නාම තක්සේරුකරණ ක‍්‍රමවේදයක් වන රෝයල්ටි රිලීෆ් ප‍්‍රවේශය භාවිතා කරමින් මෙහිදී සන්නාමවල වටිනාකම් ඇගයීම සිදුකරයි. මෙහිදී, රෝයල්ටි ගාස්තු ගණනය කිරීම මගින් සන්නාමයට අදාළව අනාගතයේදී ලැබිය හැකියැයි විශ්වාස කරන ආදායම ඇස්තමේන්තු කරයි. එසේම, විවෘත වෙළෙඳපොළ තුළ සන්නාමය ලියාපදිංචි කිරීම මගින් සන්නාමයේ අයිතිකරුවාට ලැබිය හැකි ශුද්ධ ආර්ථික ප‍්‍රතිලාභ අවබෝධ කරගැනීම මගින් මෙහිදී සන්නාමයේ වටිනාකම පිළිබඳ අදහසකට එළඹෙයි.

ලෝකයේ ප‍්‍රමුඛතම, ස්වාධීන, වටිනාකම් පදනම් කරගත් සන්නාම උපායමාර්ගික උපදේශන ආයතනයක් වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගමේ මූලස්ථානය ලන්ඩනයේ පිහිටා තිබෙන අතර එහි ශාඛා ජාලය ශ‍්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා රටවල් 20 ක ව්‍යාප්තව තිබේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් අලෙවිකරණය සහ මූල්‍යනය අතර තිබෙන හිඩැස සන්නාමයේ තිබෙන මූල්‍ය වටිනාකම ගණනය කිරීම මගින් පියවාලනු ලබයි. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් Brand Valuation – ISO 10668 සහ Brand Evaluation – ISO 20671 ප‍්‍රමිතිය භාවිතා කරමින් ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූලව මෙම ගණනය කිරීම් සිදුකරයි.

සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 වසර අවසන් වනවිට රුපියල් බිලියන 150 ක් ඉක්මවූ වත්කම් ප‍්‍රමාණයක් වාර්තා කිරීමට සමත්වූ අතර එම වසර අවසානයේදී රුපියල් බිලියන 36.98 ක සමස්ත ඒකාබද්ධ ආදායමක්, රුපියල් බිලියන 22.07 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක්, රුපියල් බිලියන 106.74 ක ජීවිත අරමුදලක්, රුපියල් බිලියන 133.7 ක ආයෝජන කළඹක් සහ රුපියල් බිලියන 6.93 ක ශුද්ධ ආදායමක් වාර්තා කරන ලදී.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work®  විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2019-20 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදුන් අතර 2020 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව