සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලියට ගෙවන ගාස්තු සංශෝධනයෙන් දේශීය ආයෝජකයන් අනතුරේ

REPA (LBN)

– පුනර්ජනනීය බලශක්ති සුරකින්නන්ගේ සංගමය විරෝධය පළ කරයි

වහල මත සවි කරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලිය සඳහා ගෙවන ගාස්තු ජූලි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයා අත්තනෝමතිකව ගත් තීරණයට පුනර්ජනනීය බලශක්ති සුරකින්නන්ගේ සංගමය විරෝධය පළ කරයි. එම සංගමය සඳහන් කළේ මෙම තීරණය හේතුවෙන් දේශීය ආයෝජකයන් අධෛර්යවත් වී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය බිඳ වැටෙනු ඇති බවයි.

 



 

සංගමයේ සභාපති දර්ශන ලියනසේකර සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ භාවිතය තුළින් ගෝලීය ඉලක්ක ළඟා කර ගත හැකි බවයි. “ශ්‍රී ලංකාවට වසර පුරාම හිරු එළිය ලැබීම සහ අවශ්‍ය තරම් ඉඩ පහසුකම් තිබීම නිසා සූර්ය පැනල සවි කිරීම ඉතා පහසුයි. මහා පරිමාණ මුදල් ආයෝජන අවශ්‍ය නොවීම, අවම නඩත්තු වියදම්, රටේ මුදල් විදේශ රටවලට ගලා නොයාම සහ පරිසර හිතකාමී බව වැනි වාසි රැසක් ඒ හරහා ලැබෙනවා.” ඔහු වැඩි දුරටත් සඳහන් කළේ 2050 වන විට කාබන් බලශක්ති භාවිතය සම්පූර්ණයෙන් පිටුදැකීම සඳහා සහ 2030 වන විට සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාවෙන් 30%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් සපුරා ගැනීම සඳහා වන ගෝලීය ඉලක්කය ජය ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඉවහල් වන බවයි.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සංගමයේ ලේකම් අමල් සරත්චන්ද්‍ර මහතා සඳහන් කළේ මේ වන විටත් මෙරට සූර්ය බලශක්ති ක්ෂේත්‍රය අභියෝග රැසකට මුහුණ දෙන බවයි. “නව ව්‍යාපෘති අත්හිටුවීම සහ දැනටමත් ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා අනුග්‍රහයක් නොලැබීම නිසා ආයෝජකයන් තව තවත් අධෛර්යවත් වෙනවා. කිසිම මූල්‍ය සහනයක් ලැබෙන්නේ නැහැ, ඒ වගේම පැනල සහ ඉන්වර්ටර් වැනි උපාංග මත අහස උසට බදු පනවලා තිබෙනවා,” ඔහු සඳහන් කළේය.

දේශීය ආයෝජකයන් දිරිමත් කිරීම වැදගත් බව අවධාරණය කළ සංගමයේ උප සභාපති සුරේෂ් ගලංග පැවැසුවේ විදේශීය ආයෝජන හරහා ලැබෙන්නේ තාවකාලික ප්‍රාග්ධනයක් පමණක් බවයි. “විදේශීය ආයෝජකයන්ගේ ව්‍යාපෘතිවලට ගෙවන මුදල් රට තුළ රැඳෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය අනුග්‍රහය දෙමින් දේශීය ආයෝජකයන් දිරිමත් කිරීම ඉතා වැදගත්.”

සංගමයේ භාණ්ඩාගාරික චානක ජයවර්ධන මහතා සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඉහළ නැංවීම තුළින් රටට විශාල ආර්ථික වාසියක් සැළසෙන බවයි. “2022 සහ 2023 වසරවල ඉන්දන පදනම් කර ගත් බලශක්ති උත්පාදනයට පිළිවෙලින් රුපියල් බිලියන 203.7ක් සහ රුපියල් බිලියන 278.9ක් වැය වෙලා තිබෙනවා. එය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් රටට විශාල අවාසියක්. මෙගාවොට් 1,000ක ධාරිතාවකින් යුතු සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික විදුලි බල පද්ධතියට ගිගාවොට් පැය 1,320ක් එකතු කරන්න පුලුවන්. ඒ සඳහා වැය වෙන්නේ රුපියල් බිලියන 48.8ක් පමණයි. ඒ විදුලි ධාරිතාව ඩීසල් යොදා ගෙන උත්පාදනය කරන්න රුපියල් බිලියන 92.4ක් වැය වෙනවා,”

විදුලි පාරිභෝගික සංගමය නියෝජනය කරමින් එහි සභාපති එම්. ඩී. ආර්. අතුල සහ මහ ලේකම් සංජීව ධම්මික යන මහත්වරුද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ. ඔවුන් සඳහන් කළේ කැබිනට් තීරණය අනුව මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය මත මිල සංශෝධනය කළ යුතු වුවත් මහජන උපයෝගිතා කොමිසම මිළ සංශෝධනය කිරීමට අනුමැතිය දී නොමැති අවස්ථාවක විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයා මිළ සංශෝධනය කිරීමට පහළ නිලධාරීන්ට ලිපි මඟින් දැන්වීම අත්තනෝමතික තීරණයක් බවයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව