සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 61ක්

sri Lankan & indian winneras mix photograph (LBN)

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේදී පදක්කම් 61ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. පසුගියදා කොළඹ පැවැති මේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 16ක්  සහ ලෝකඩ පදක්කම් 24ක් හිමි විය. එම ශූරතාවලියට අවුරුදු 36න් ඉහළ සිට අවුරුදු 120 ට වැඩි දක්වා විවිධ වයස් කාණ්ඩ යටතේ තරග අංශ 60ක් ඇතුළත් විය.

 



 

අවුරුදු 35න් ඉහළ පිරිමි ඒකල, 35න් ඉහළ කාන්තා යුගල, 40න් ඉහළ කාන්තා ඒකල, 40න් ඉහළ මිශ්‍ර යුගල, 45න් ඉහළ පිරිමි ඒකල, 45න් ඉහළ පිරිමි යුගල, 45න් ඉහළ කාන්තා යුගල, 50න් ඉහළ කාන්තා ඒකල, 50න් ඉහළ පිරිමි යුගල, 55න් ඉහළ පිරිමි ඒකල, 55න් ඉහළ කාන්තා යුගල, 65න් ඉහළ කාන්තා ඒකල, 65න් ඉහළ පිරිමි යුගල, 110 වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල, 100 වයස් කාණ්ඩයේ කාන්තා යුගල, 110 වයස් කාණ්ඩයේ කාන්තා යුගල සහ 130 වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉහළම ගෞරවය දිනා ගත්හ.

ඒ අතුරින් රොහාන් ද සිල්වා, රේණු චන්ද්‍රිකා ද සිල්වා, සහන් ප්‍රදීප්, රොෂාන් පද්මකුමාර, මංජුල සම්පත් ප්‍රනාන්දු, විපුලි සෙනෙවිරත්න, උපේන්ද්‍ර පෙරේරා, ක්ලැරන්ස් හෝමර්, දුමින්ද ජයකොඩි, මොහාන් විජේසිංහ, ප්‍රියංකා අබේරත්න, ශ්‍රියානි දීපිකා, මල්ලිකා වඩුගේ, නදීෂා ගයාත්‍රි, හසිත චානක, විජයලක්ෂ්මි පුංචිහේවා, රොහාන් ප්‍රනාන්දු, ලලිත් අමරසේන, සේනක අත්තනායක සහ ක්‍රිෂාන්ත ගමගේ රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

විශිෂ්ට දස්කම් සහ හැකියාවන් හා ක්‍රීඩා කෞෂල්‍ය පෙන්නුම් කළ මෙවර තරගාවලියට අතිවිශාල ප්‍රතිචාර ලැබී තිබූ අතර, ඔස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෝර්වේ, මැලේසියාව, අමෙරිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 11කින් වාර්තාගත අයැදුම්පත් 535ක් ලැබී තිබිණි.

දින හතරක් පුරා පැවැති මෙම ශූරතාවලියේදී තරග සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් කොළඹ අගනුවර කේන්ද්‍ර කරමින් විශේෂයෙන් වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රිඩාගාරය සහ ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය ඇතුළු අතිරේක ක්‍රීඩාගාර කිහිපයක තරග පැවැත්වීමට සංවිධායක මණ්ඩලයට සිදු වී තිබිණි. ජාත්‍යන්තර තරග තීරක ලක්ප්‍රිය එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ඉහළම සුදුසුකම්ලත් නිලධාරීන් කණ්ඩායමක් විසින් තරග විනිශ්චය සිදු කළ අතර, හිටපු ජාත්‍යන්තර තරග තීරක අජිත් විජයසිංහ මහතා තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා විසින් පෙරමුණ ගනු ලැබූ සංවිධායක කමිටුවට සුමුදු කුමාරසිංහ, ජාලිය ජයසේකර, තරංග පෙරේරා, රොහාන් ප්‍රනාන්දු, සහන් ප්‍රදීප්, සුගත් තල්වත්ත, චන්ද්‍රිකා ද සිල්වා, ලක්ෂ්මි පුංචිහේවා, ලලිත් යටිවැල්ල, මංගල ගමගේ, ප්‍රියංකා අබේරත්න,, සේනක අත්තනායක, තුෂාරි බ්‍රාහ්මණගේ, වැන්ඩා ඉන්ග්‍රාම්, සචිත්‍ර විදානගම සහ නිශාන්ත ජයමාන්න මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විධායක කමිටුවක සහාය ලැබිණි.

තරගාවලියේ වර්ණවත් කිරීමට විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සංචාරක නියෝජිතයකුගේ පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වඩාත් ආකර්ශනීය සංචාරක ගමනාන්ත නැරැඹීමට අවස්ථාව උදා කර තිබිණි. ගුවන් තොටුපොළේ සිට කොළඹ පිහිටි නිල හෝටලය දක්වා ඉතා නිවැරැදි සැලසුමක් යටතේ ප්‍රවාහන පහසුකම් සලසා තිබූ අතර, තරග පැවැති ස්ථාන වෙත විශේෂිත ප්‍රවාහන පහසුකම් ද ඊට ඇතුළත් විය. තරගාවලියේ ගෞරවනීයත්වය උදෙසා සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ මුදල් ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබිණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව