
ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ ක්ෂේත්‍රයේ සැලකිය යුතු නීතිමය පියවරක් තබමින්, පාවහන් නිෂ්පාදනයේ දැවැන්තයෙකු සහ සුප්‍රසිද්ධ ‘Waves’ පාවහන් සන්නාමයේ හිමිකරුවන් වන ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම, වෙල්ත් ෆුට්වෙයාර් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගමට එරෙහිව සිය වෙළඳ සලකුණු උල්ලංඝනය කිරීමේ නඩුවකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝග ලබාගෙන තිබේ.
2025 අප්‍රේල් 25 වන දින වාණිජ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අභියෝගයකට ලක් කරමින් ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් අනුව මෙම නඩුව ගොනු කර ඇත. වෙල්ත් ෆුට්වෙයාර් ඉන්ඩස්ට්‍රීස් විසින් සිය flip-flops නිෂ්පාදන පෙළට ඇතුළත් “W” වෙළඳ සලකුණ නීතිවිරෝධී ලෙස අනුකරණය ඇති බවට ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම ඒ අනුව චෝදනා ගොනු කර තිබේ. පැමිණිකාර පාර්ශවය සඳහන් කරන්නේ අනුකරණය කරන ලද පාවහන් මෝස්තරය, ලියාපදිංචි කර තිබෙන සිය “Waves” වෙළඳ සන්නාමයේ “W” සලකුණට සමාන අයුරින් ව්‍යාජව සකස් කර ඇති බවත්, ඒ තුළින් තම පාරිභෝගික ප්‍රජාව අතර ව්‍යාකූලත්වයක් නිර්මාණය කර තිබෙන බවත් ය. ඔවුන් තවදුරටත් කියා සිටින්නේ වසර ගණනාවක් පුරාවට ‘Waves’ වෙළඳ නාමය ගොඩනගා ගෙන තිබෙන කීර්තිනාමය සහ විශ්වාසය ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි.
ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම වෙනුවෙන් ජේ.කේ. චේම්බර්ස් හී නීතිඥ කාංචනා සේනානායක මහත්මියගේ උපදෙස් සහ ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගමෙහි නීතිඥ චමනි කණ්ඩම්බි මහත්මියගේ සහායෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂ්මනන් ජෙයකුමාර් මහතා සහ නීතිඥ භාග්‍යා හේරත් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම නඩුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගනු ලැබුවේ පසුගිය ජූලි 21 වන දාය. දෙපාර්ශ්වයේම නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සමාලෝචනය කිරීමෙන් පසුව, අභියාචනය ඉදිරියට ගෙන යාමට අවසර ලබා දුන් අතර, ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් සමාගමට පක්ෂව අතුරු නියෝගයක් ද නිකුත් කළේ ය. ඒ අනුව වෙල්ත් ෆුට්වෙයාර් ඉන්ඩස්ට්‍රීස් සමාගමට එරෙහිව අධිකරණය විසින් පනවන ලද ප්‍රධාන නියෝග දෙක පහත පරිදි වේ.
- ලියාපදිංචි “Waves” වෙළඳ සන්නාමයේ “W” සලකුණට සමීපව සමාන වන හෝ ව්‍යාකූලත්වයක් ඇති කළ හැකි හෝ ‘W’ අක්ෂරය සහිත ඕනෑම flip-flops මාදිලියේ පාවහන් නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම හෝ බෙදා හැරීම.
- මතභේදයට තුඩු දුන් සලකුණ දරන ඕනෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රවර්ධන හෝ ප්‍රචාරණ කටයුතුවල නිරත වීම.
2007 වසරේදී එළිදැක්වීමෙන් පසු සහ 2014 වසරේදී යළි සන්නාමකරණයෙන් පසු ‘Waves’ සන්නාමය මෙරට පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ගනිමින් ගුණාත්මකභාවයෙන් යුතු ප්‍රජා වටිනාකම් සඳහා දායක වී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ පාවහන් සන්නාමයක් ලෙස අඛණ්ඩව පවතිනවා සේම, ජාත්‍යන්තර වෙළඳපොළවල් 15කට අධික සංඛ්‍යාවක් වෙත සාර්ථකව ව්‍යාප්ත වී ඇත. ඒ ඔස්සේ ව්‍යාපාරික සහ පාරිසරික ආචාරධර්මයන් සඳහා ගෝලීය වශයෙන් උසස් පිළිගැනීමක් ද හිමි කරගෙන තිබීම සුවිශේෂී වේ.


