සියපත ෆිනෑන්ස් 20 වැනි වසරක සේවා අභිමානය සමරමින් පාසල් 20 කට මී ගස්

Siyapatha Finance

දශක දෙකක අභිමානය සමග විශිෂ්ට මූල්‍ය සේවාවක නියැලි සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් කලාප 13 ක පාසල් 20 ක් තෝරාගනිමින් පාසල් මට්ටමෙන් රුක් රෝපණ වැඩසටහනක් සහ චිත්‍ර තරගයක් සංවිධානය කරනු ලැබීය.

සියපත ෆිනෑන්ස් ජේෂ්ඨ කළමනාකාරීත්වයේ මෙහෙයවීමෙන්, ජේෂ්ඨ කලාපීය කළමනාකරුවන්, කලාප කළමනාකරුවන්, ශාඛා කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලයන්ගේ සංවිධානයෙන් යුතුව පාසල් ගුරු මණ්ඩල හා සිසු දරුදැරියන්ගේ සහභාගීත්වයෙන් සියපත ෆිනෑන්ස් 20 වන සංවත්සරය සංකේතවත් කරමින් එක් පාසලක මී ගස්  (Mahua longifolia) 20 බැගින් රෝපණය සිදුකෙරිණ. පාසල් දරුවන් හා පරිසරය අතර ඇති සබඳතාවය නිර්මාණශීලී ලෙස තහවුරු කිරීමේ අරමුණෙන් යුතුව “හරිත අනාගතයක් – තිරසර හෙටක්” යන තේමාව පෙරදැරි කරගනිමින් පැවැත්වූ චිත්‍ර තරගයේදී එක් පාසලකින් ජයග්‍රාහයකයන් 20 ක් බැගින් තෝරාගෙන ඔවුන් දිරිගන්වමින් සහතික පත්‍ර සමග පාසල් බෑග් පිරිනැමිණ.
 



 
සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් “අප 20 වැනි සංවත්සරය සමරන මොහොතේදී පරිසරයට කෘතවේදීත්වය පළ කරමින් මුළු දිවයිනම නියෝජනය වන ආකාරයට පාසල් මට්ටමෙන් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන්නට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වෙනවා. ගස්වැල් හා පරිසරය රැකගැනීම වැදගත් වන්නේ හුදෙක් සියළු ජීවීන්ගේ පැවැත්ම සුරක්ෂිත කරගැනීමටම නොවෙයි, තිරසර අනාගතයක් ගොඩනැගීමටත් බෙහෙවින් වැදගත් වෙනවා. මෙය හුදු රුක් රෝපණ වැඩසටහනකින් එහා ගිය කටයුත්තක් වන්නේ මේ හරහා දරුවන්ගේ පරිසරය පිළිබඳ යහපත් ආකල්ප ගොඩනංවා සමස්ථ ජීවයම ආරක්ෂා කරන සුබවාදී හෙට දිනයක් ගොඩනගන ක්‍රියාත්මක වැඩපිළිවෙලක් නිසයි.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කලාපීය කළමනාකරු අමිල බඹරැන්දගේ අදහස් දක්වමින් “අප ආයතනයේ 20 වැනි සංවත්සරය සමරන මොහොතේදී දරුවන් සමග එක්ව කටයුතු කරන්න ලැබීම භාග්‍යයක් ලෙස සලකනවා. පරිසරයට සංවේදී දරු පරපුරක් බිහිකරමින් නව පරපුර පරිසරය සුරැකීමේ ක්‍රියාකාරී මෙහෙවරකට යොමු කිරීමට මෙය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. සියළු දෙනාගේ යහපත උදෙසා ලබන වසරේත් ඉන් ඉදිරියටත් මේ රුක් රෝපණ වැඩසටහන රැගෙන යන්න අප බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.

කුලියාපිටිය ඉලුක්හේන ගුණානන්ද මහා විද්‍යාලය, කළුතර මහා විද්‍යාලය, යටියන අගලවත්ත ශ්‍රී මේධංකර කනිෂ්ඨ විද්‍යාලය, මාතර අකුරුගොඩ සුල්තානාගොඩ විද්‍යාලය, ඇඹිලිපිටිය ර/ඇඹි/ මෝදරවාන විද්‍යාලය, හේවාගම කණිටු විදුහල, රුක්මලේ මහා විද්‍යාලය නුගේගොඩ මාදිවෙල රාහුල විද්‍යාලය, අම්පාර කරංගාව ජනරජ විද්‍යාලය, අක්කරෛපත්තු රාමක්‍රිෂ්ණා මිෂන් මහා විද්‍යාලම්, පොළොන්නරුව විජයබාහුපුර ප්‍රාථමික විද්‍යාලය, කිලිනොච්චි තිරුවෛආරු මහා විද්‍යාලයම්, හැටන් ක්ලෙවර්ටන් දමිළ විද්‍යාලය, නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලය, රත්නපුර පලාබද්දල මහා විද්‍යාලය, කෑගල්ල ගංතුන කඳුරට මහා විද්‍යාලය, පස්යාලේ ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, අනුරාධපුර කහටගස්දිගිලියේ රන්පත්විල මහා විද්‍යාලය, නිකවැරටිය විතිකුලිය මධ්‍ය මහා විද්‍යාලය සහ වාලච්චේන පුදුකුඩිඉරිප්පු වානි විද්‍යාලය යන පාසල්  කේන්ද්‍ර කරගනිමින් රුක් රෝපණ වැඩසටහන් සහ චිත්‍ර තරග සංවිධානය කෙරිණ.

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග වසර 20 ක කාලයක් පුරා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටියි. සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත. ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව A (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සියපත ෆිනෑන්ස් පීඑල්සී තම මූල්‍ය ස්ථාවරත්වය සනාථ කොට ඇත.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව