ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තය 2024 වසරේදී 5% ක අපනයනය වර්ධනයක් සමඟින් අනාගත දියුණුව පිළිබඳ අවධානය යොමු කරයි

JAAF Logo

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන පරිදි 2024 වසරේ ඇඟලුම් අපනයනය තුළින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.7කි. පෙර වසරට සාපේක්ෂව 5%කට ආසන්න වර්ධනයක් සනිටුහන් කරන එම ආදායම සඳහා මෙරට රෙදිපිළි ආනයනයද ඇතුළත් කළහොත් සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා යනු ඇත. මේ තුළින් පෙන්නුම් කරන්නේ දේශීය හා ගෝලීය අභියෝගයන් මධ්‍යයේ වුව නොසැලී කටයුතු කිරීම සඳහා මෙරට ඇඟලුම් කර්මාන්තය සතු හැකියාවයි.

 



 

වර්ධන විශ්ලේෂණය

2024 වසර තුළ ඇඟලුම් කර්මාන්තය අත් කරගත් වර්ධනය ඊට සම්බන්ධ සියලු පාර්ශවකරුවන්ට ඉතා සතුටුදායක පුවතක් වනු නිසැකය. 2019 වසර වසංගතයට හා ආර්ථික අර්බුදයට පෙර කර්මාන්තය පැවති සාමාන්‍ය තත්වයේ පදනම් වර්ෂය ලෙස සැලකුවහොත් 2024 වසරේදී  අපනයන ආදායම 10.3%කින් පහළ යන ලදී. අවසන් වරට 2019 වසරේදී ඇඟලුම් අපනයනය තුළින් ඇමරිකානු ඩොලර් බිලියන 5.3ක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ තුළින් මනාව පැහැදිලි වන්නේ මෙරට ඇඟලුම් කර්මාන්තය නැවත යථා තත්වයට පත් කර ගැනීම සඳහා හා අහිමිව ගිය ජාත්‍යන්තර වෙළෙඳපොල කොටස නැවත අත්පත් කර ගැනීම සියලු පාර්ශවයන්ගේ ක්‍රියාකාරී මැදිහත් වීමක් අවශ්‍යව ඇති බවයි. කෙසේ වුවද ඒ සඳහා වන වෙළෙඳපොල කාර්යසාධනය යහපත් අනාගතයක් සඳහා වන ප්‍රතිචාරයන් දක්වා තිබීම සතුටට කරුණකි.

  1. ඇමරිකා එක්සත් ජනපද වෙළෙඳපොල – ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර වෙළෙඳපොල වන එක්සත් ජනපදය වෙත සිදු කළ අපනයනයන් හි වාර්ෂික වර්ධනය 5.23%කින් ඉහළ යමින් ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් දක්වා වර්ධනය වී ඇත. එහෙත් එය 2019 මට්ටම හා සැසැඳීමේදී 19.4%ක පහළ යාමකි. ඉන් පැහැදිලි වන්නේ ඇමරිකා එක්සත් ජනපදය සඳහා වන අපනයනයන් තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාවක් ඇති බවයි.
  2. එක්සත් රාජධානියේ වෙළෙඳපොල – 2019 මට්ටමට ආසන්න තත්වයක් පෙන්නුම් කරමින් 2024 වසරේදී අපනයනය 7.65%ක වර්ධනයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත්තේ ආචාර ධාර්මික හා තිරසාර නිෂ්පාදන ඇඟලුම් සඳහා වන ඉහළ ඉල්ලුමට සවියක් වෙමිනි.
  3. යුරෝපා වෙළෙඳපොල – 0.81%ක මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර ඇති යුරෝපා වෙළෙඳපොල වෙත සිදු කරන අපනයනය තුළින් තරඟකාරී හා දැඩි නියාමනයන් සහිත වෙළෙඳපොලකට අවශ්‍ය ආරම්භක පියවර පවත්වා ගැනීමට හැකිවී තිබේ.
  4. වර්ධනය වන වෙළෙඳපොල – මෙරට ඇඟලුම් කර්මාන්තයේ විවිධ උපාය මාර්ගයන්හි සාර්ථකත්වය ප්‍රදර්ශනය කරමින් අනෙකුත් වෙළෙඳපොල වෙත සිදු කළ අපනයනයේ 10.13%ක වර්ධනයක් දැකිය හැකි විය. මෙම ඉහළ යාමට හේතු වී ඇත්තේ වෙළෙඳපොල අවශ්‍යතා හඳුනා ගැනීම, වෙළෙඳපොල ග්‍රහණය කර ගැනීම හා අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් තෙවන පාර්ශවීය රටවල් වෙත සිදු කරන ඍජු අපනයනයයි.

එරාවුර් ඇඟලුම් කලාපය

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිරන්තරයෙන් අවධාරණය කර සිටින්නේ කර්මාන්තයේ දිගු කාලීන පැවැත්ම හා තරඟකාරීත්වය වෙනුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදනය සඳහා යොමු වීම ඉතා වැදගත් වන බවයි. අක්කර 300කට අධික භූමි භාගයක පිහිටා ඇති එරාවුර් සැකසුම් කලාපය තුළින් රෙදිපිළි නිෂ්පාදනයට අදාල නිෂ්පාදන අවස්ථා උදා කර දීමට අරමුණු කොට ගෙන ඇත. මෙම කලාපයේ සිට රෙදිපිළි වර්ණ ගැන්වීම, සේදීම, ගෙතුම් හා රෙදි විවීම මෙන්ම කර්මාන්තශාලා ආශ්‍රිතව සිදුකරන අනෙකුත් දේ කළ හැකිය. සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ අවස්ථාව සළසා දෙන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය තුළින් නිෂ්පාදන සඳහා වන කාලය අවම කර ගැනීමටත්, ශ්‍රී ලංකාව විසින් ගෝලීය ගැනුම්කරුවන් වෙත සිදු කරන අපනයනයන්හි වටිනාකම් දාම ප්‍රවේශය තවදුරටත් වර්ධනය කරමින් ඔවුන් නිරතුරුව ඉල්ලා සිටින තිරසාරභාවය සහ ඇඟලුම් නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා අතට පත්වන තෙක් පවතින ක්‍රියාවලියේ විනිවිදභාවය ඉහළ නැංවීමටත් හැකියාව උදා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා “ඇඟලුම් කර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් සිදු කළ හුදු ආරම්භයකට එහා ගිය ව්‍යාපෘතියක් වන එරාවුර් රෙදිපිළි කලාපය කර්මාන්තයේ ජීවගුණය පවත්වාගෙන යාමටද වැදගත් වනවා. වර්ධනය වෙමින් පවතින තරඟකාරීත්වය ඉහළ නැංවීමට මෙන්ම ගෝලීය වෙළෙඳපොල ඇති ඉල්ලුම සපුරාලීමට දේශීය වශයෙන් රෙදිපිළි නිෂ්පාදනය කිරීම අනිවාර්ය වේ.” යනුවෙන් පැවසීය.

ප්‍රවණතා සහ උපාය මාර්ග

ගෙවුණු වසර 5 තුළ වර්ධන ප්‍රවණතා විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඇඟලුම් ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පවතින බවයි. 2020 වසරේදී වසංගත තත්වය හේතුවෙන් ඇඟලුම් අපනයනය ඩොලර් බිලියන 4.1 දක්වා පහත වැටුණි. එය 2019 වසර හා සැසැඳීමේදී 22%ක පහළ යාමකි. 2022 වසරේදී කොවිඩ් වසංගතයෙන් පසුව සමාගම් විසින් පුරෝකථනය කළ අධි තක්සේරුව හේතුවෙන් ඇඟලුම් අපනයන ආදායම තාවකාලිකව ඉහළ යන ලදී. 2023 වසරේදී එය නැවත පසුබෑමට ලක් වූයේ ගෝලීය උද්ධමනය ඉහළ යාම හා පාරිභෝගික මිලදී ගැනීමේ හැකියාව පහළ යාම වැනි හේතු නිසාවෙනි.  විවිධ අභියෝගයන් හමුවේ 2024 වසරේදී නැවත 5%ක වර්ධනයක් අත් කර ගැනීම තුළින්  පිළිබිඹු වන්නේ සැපයුමට සරිලන ඉල්ලුමක් නොපවතින හෙයින් මිල මත ඇති කර ඇති යටිකුරු පීඩනයයි.

මෙහිදී ඇඟලුම් කර්මාන්තය හා රජයේ පාර්ශවය අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කමද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් අවධාරණය කර සිටියි. වෙළෙඳපොල ප්‍රවේශය ඉහළ නැංවීම, එරාවුර් රෙදිපිළි කලාපය වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, විදුලි බිලෙහි විනිවිදභාවය හා පුරෝකථනය, කොළඹ වරායේ වත්මන් මෙහෙයුම් බාධක ලිහිල් කිරීම වැනි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කර්මාන්තයේ දිගු කාලීන සංවර්ධනයට ඉතා වැදගත් වන බව එම සංගමයේ අදහසයි.

විශේෂයෙන් තරඟකාරී රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ බලශක්ති වියදම ඉතා ඉහළ මට්ටමක පවතින වාතාවරණයක් තුල පසුගියදා සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය කර්මාන්තයට ඉතා වැදගත් වේ. ඇඟලුම් සංගම් සංසදය, සාධාරණ හා පිරිවැය ඵලදායී බදු ක්‍රමයක් සහිත විදුලි උත්පාදනයක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට අවශ්‍ය වඩාත් ලාභදායී ජනන ක්‍රමවේදයක් අනුගමනය සහතික කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ ස්වාධීනත්වය වෙනුවෙන් දිගු කාලයක් තිස්සේ පෙනී සිට ඇත.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා ඉන්දුනීසියානු රෙදි පිළි යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව එක්ව එක්සත් රාජධානියේ DCTS වරණීය තීරුබදු වැඩසටහන වෙතින් ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් අනුමත වුවහොත් ඉන්දුනීසියානු රෙදිපිළි භාවිතයෙන් නිපදනවන මෙරට ඇඟලුම් සඳහා තීරුබදු රහිතව එක්සත් රාජධානි වෙළෙඳපොලට ලබා දීමට හැකිවනු ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලෝරන්ස් මහතා සඳහන් කර සිටියේ “2019ට පෙර පැවති තත්වය නැවත උදාකර ගැනීමට නම් උපාය මාර්ගික ආයෝජන හා ආර්ථික ප්‍රතිසංස්කරණයන් සිදු කළ යුතුයි. ඒ මඟින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 6ක අපනයන ඉපැයීමක් සිදු කළ හැකි අතරම ගුණාත්මක හා ආචාර ධාර්මික ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා බවට පත් වෙමින් ඩොලර් බිලියන 6කට වැඩි අපනයන ආදායමක් අපට අත්කර ගත හැකියි.’’ යනුවෙනි.

ශ්‍රී ලංකාව ගෝලීය තිරසාරත්වය හා වෙළෙඳපොල විනිවිදභාවයන් අනුගමන කරන බැවින් උපාය මාර්ගික ක්‍රියාකාරකම් සපයා දීම තුළින් මහා පරිමාණ හා නැගී එන කර්මාන්තකරුවන් වෙත ඉහළ වර්ධනයක් අත්කර ගැනීමට ශක්තියක් ලැබෙනු ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව