වාර්ෂිකව PET බෝතල් මිලියන 90ක් නූල් බවට පරිවර්තනය කරමින් ඉකෝ ස්පින්ඞ්ල්ස් ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයට මුල පුරයි

Image 1

 




 

 

ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන ඉකෝ ස්පින්ඞ්ල්ස්, ප්ලාස්ටික් බෝතල් කෙලින්ම නූල් හෝ මොනොෆිලමන්ට් බවට ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා තිරසාර විසඳුමක් ඉදිරිපත් කර ඇත. ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් පසුව පොලියෙස්ටර් නූල් හා බුරුසු හා කොසුවල කෙඳි සෑදීමට භාවිතා කරයි. ඉකෝ ස්පින්ඞ්ල්ස් ප‍්‍රතිචක‍්‍රීයකරණ පහසුකම මගින් වසරකට PET ප්ලාස්ටික් බෝතල් මිලියන 90කට වැඩි ප‍්‍රමාණයක් කෙලින්ම නූල් බවට පත් කරනු ලබයි. ඉකෝ ස්පින්ඞ්ල්ස් යනු PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකකි. මෙම පරිවර්තන ක‍්‍රියාවලිය අතරතුර බලශක්තිය භාවිතය, හරිතාගාර වායු විමෝචනය හා ජල පරිභෝජනය අවම කිරීම සමාගමේ මෙහෙවර බවට පත්ව තිබේ.

BPPL හෝල්ඩින්ග්ස්හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Eco Spindles ලෝකයේ පළමු වානිජමය Partially Oriented Yarn – POY පහසුකම නිර්මාණය කරමින් රෙදිපිළි ක්ෂේත‍්‍රයේ තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා නූල් නිෂ්පාදනය කිරීම සඳහා නවීන තාක්ෂණයන් භාවිතා කර තිබේ. මෑතකාලීන තාක්ෂණය හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සඟරාවට අනුව, 2021 දී ලොව පුරා PET ප්ලාස්ටික් බෝතල් පරිභෝජනය බිලියන 583.3 ක් දක්වා ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරන බවත්, මේ හේතුවෙන් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම හා ඒවාට වටිනාකමක් එකතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බවත් අවධාරණය කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉකෝ ස්පින්ඞ්ල්ස් නූල් අංශයේ ප‍්‍රධාන විධායක නිලධාරී, නාලක සෙනෙවිරත්න මහතා ‘‘සාමාන්‍යයෙන්, PET ප්ලාස්ටික් බෝතලයක් ස්වාභාවික පරිසරයේ දිරාපත් වීමට වසර 1,000 කට වඩා වැඩි කාලයක් ගත වනවා. නමුත් අප මෙම ප්ලාස්ටික් බෝතලය ඇඟළුමක්/ඇඳුමක් බවට ප‍්‍රතිචක‍්‍රීයකරණය කළහොත් එය පරිසරයේ සම්පූර්ණයෙන්ම දිරාපත් වීමට ගත වන්නේ වසර 100 කටත් වඩා අඩු කාලයක්. එනිසා අප ප්ලාස්ටික් වගකීමෙන් යුතුව බැහැර කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කළහොත් ඒවා දිරාපත් වීමට ගත වන වසර 900 කට අධික කාලය ඉවත් කරගත හැකියි. නූල් සෑදීමට අප ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් භාවිතා කරනු ලබන අතර Ecos Green, Ecos Evolve, Ecos Oceanic, Ecos Shield, Ecos Amy හා Ecos Chromaයනු අපගේ ප‍්‍රධාන නිෂ්පාදන හයයි.’’ යනුවෙන් සඳහන් කළේය.

‘‘සාමාන්‍ය පොලියෙස්ටර් නිෂ්පාදනයේදී භාවිතා කරනු ලබන පොලිමර් චිප් නිෂ්පාදන ක‍්‍රියාවලිය ඉවත් කිරීමේ තාක්ෂණය අප සතුව තිබෙනවා. අපි මෙය සිදු කරන්නේ ප්ලාස්ටික් කැබලි කෙලින්ම POY නූල් බවට පරිවර්තනය කිරීමෙන්. මෙහිදී මෙම පරිවර්තන ක‍්‍රියාවලිය සඳහා විශාල ශක්තියක් වැය වන අතර එය අප ඉවත් කරනු ලබනවා. අපගේ PET ප‍්‍රතිචක‍්‍රීයකරණ ක‍්‍රියාවලිය තුළින් ගෝලීය වශයෙන් අවම කාබන් පියසටහනක් සිදු වන බව මා සහතික කරන්නේ ඉතා ආඩම්බරයෙන්. අපගේ ‘Ecos GreenTM’ නිෂ්පාදනය නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම බිහිවන්නේ ඒ තුළින් වන අතර අනෙක් නූල් නිෂ්පාදන පහ මෙයට අමතරව සිදු කරනු ලබනවා.’’ යනුවෙන් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

‘Ecos Evolve’ යනු ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ පොලියෙස්ටර්වල ලෝකයේ වඩාත්ම තිරසාර නිෂ්පාදනය බව ද සමාගම සඳහන් කළේය. කොළ සහ දුඹුරු PET ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන්නේ එම බෝතල්වල ඇති ස්වභාවික වර්ණය මෙම වර්ගයේ නූල් නිෂ්පාදනය කිරීමේදී ඒවා වර්ණ ගැන්වීම සඳහාය.

”තවත් කාණ්ඩයක් වන ‘Ecos Oceanic’ යනු වෙරළේ සිට කිලෝමීටර 50 ක භූමි ප‍්‍රදේශයක් ඇතුළත එකතු කරන ලද PET ප්ලාස්ටික්වලින් නිර්මාණය කරනු ලබන නිෂ්පාදනයන්ය. සාගරයෙන් එකතු කරගත් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික්වලින් ඇඟළුම් නිර්මාණය කරන ඇඟළුම් නිෂ්පාදකයින්ට සහ රෙදිපිළි වෙළඳ නාමවලට අප මෙම නූල් විකුණනු ලබනවා. මෙරට සාගරයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරගනු ලබන ස්ථාන සොයා ගැනීමට පාරිභෝගිකයින්ට හැකි වන පරිදි අප QR කේතයක් සහිත ටැග් එකක්ද ලබා දී තිබෙනවා.’’ යනුවෙන් ඔහු පැවසුවේය.

තිරසාර විලාසිතා ප‍්‍රවර්ධනය කිරීමට ගෝලීය වශයෙන් කැප වූ ඇඟලූම් නිෂ්පාදකයින්ට සහ රෙදිපිළි වෙළෙඳ නාමවලට ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික්වලින් නිපදවන ලද පොලියෙස්ටර් නූල් විකුණනු ලබන බව සමූහය සඳහන් කර සිටී. ”ලොව පිළිගත් ඇඟළුම් නිෂ්පාදකයෙක් හා ගමනාන්තයක් ලෙස, නූල් නිෂ්පාදනයෙන් ආරම්භ කර ශ‍්‍රී ලංකාව තුළ චක‍්‍රීය සැපයුම් දාමයක් නිර්මාණය කරමින් මෙම අංශය අඛණ්ඩව ශක්තිමත් කිරීමට අපට අවශ්‍යයි. කෙසේවෙතත්, අපට අවශ්‍යය වන්නේ අපගේ පරිසරයේ ආරක්ෂාව පිළිබඳව සිහි තබා ගනිමින් මෙය කිරීමටයි. ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් තිරසාර නූල් වැනි නිෂ්පාදන සිදු කිරීම වඩාත් වැදගත් වී ඇත්තේ ඒ නිසාය. ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් අපද්‍රව්‍යවල ඇති වටිනාකම සෑම කෙනෙකුටම පැහැදිලි වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ් අමරසිංහ මහතා විශේෂයෙන් සඳහන් කළේය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව