ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ නිෂ්පාදන කටයුතු 2022 මාර්තු මාසයේදී ආරම්භ වේ – සිමෙන්ති හිඟය අවසන් කරමින් ඉදිකිරීම් කර්මාන්තය යළි ශක්තිමත් කරන පියවරක්

Webp.net-resizeimage

 



 

 

ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පුද්.) සමාගමේ [Lanwa Sanstha Cement Corporation (Pvt) Ltd.] නිෂ්පාදන කටයුතු 2022 මාර්තු මස මුල් භාගයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ. අතිනවීන පහසුකම් වලින් සමන්විත මෙම කර්මාන්තශාලාව, කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකකි. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක භූමිභාගයක මෙම කර්මාන්තශාලාව පිහිටා තිබේ.

ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ අනුමැතිය හිමි ව්‍යාපෘතියක් වන ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සම්පූර්ණ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 4 ක් වන අතර, එහි මුල් අදියරේ වාර්ෂික ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 2.8 කි. අතිනවීන පහසුකම් වලින් සමන්විත මෙම කර්මාන්තශාලාවේ සිමෙන්ති මිශ්‍ර කිරීම් කටයුතු සඳහා යුරෝපයේ නිෂ්පාදිත යන්ත්‍රෝපකරණ භාවිතා වන බැවින් අපතේ යාම්ද අවම වනු ඇත.

“වසර දෙකක කාලයක් පුරා පැවති වසංගත රෝග ව්‍යාප්තියෙන් අනතුරුව ලෝකය නැවත සාමාන්‍ය ජීවන රටාවන් වෙත පිවිසෙමින් සිටින අවස්ථාවක මේ ආකාරයට අපගේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. තාක්ෂණික දියුණුව සහ විදේශ විනිමය වැනි අංශ රැසකින් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහත් වූ ශක්තියක් වනු ඇතැයි කියා අප සිතනවා. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට විශාල ගැටලුවක් වී පවතින සිමෙන්ති හිඟයටත් සාර්ථක පිළිතුරක් වේවි.” ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පුද්.) සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පැවසී ය.

කාර්යක්ෂමතාව වැඩි කිරීම, අපතේ යාම අවම කිරීම සහ පරිසර දූෂණය අවම කිරීම සඳහා, වරාය සහ කර්මාන්ත ශාලාව අතර අමුද්‍රව්‍ය ප්‍රවාහනයට ආවරණය කළ ‘කන්වේයර් බෙල්ට්’ (covered conveyer belt) එකක් යොදා ඇති බවද ලොකුවිතාන මහතා සඳහන් කළේ ය.

පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය ‘ස්ටැකර් රික්ලේමර් යාර්ඩ්’ (Stacker Reclaimer Yard) එකක් සහ ‘බ්‍රිජ්-ටයිප් ෂිප් අන්ලෝඩර්’ (Bridge Type Ship Unloaders) දෙකක්ද මෙම කර්මාන්තශාලාව සතු ය. මෙය ජාත්‍යන්තර ප්‍රවණතා වලට සමගාමීව, ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සම්බන්ධ පුරෝගාමී පියවරකි.

“නිෂ්පාදන කටයුතු ආරම්භ වීමෙන් පසු, කොළඹ වරාය නගරය සහ අධිවේගී මාර්ග ඇතුළුව සියලුම ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාවට හැකි වනු ඇතැයි කියා අප සිතනවා. සාමාන්‍ය පෝර්ට්ලන්ඩ් සිමෙන්ති (SLS 107), පෝර්ට්ලන්ඩ් කොම්පසිට් සිමෙන්ති (SLS 1697) සහ බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් සිමෙන්ති (SLS 1247) ඇතුළු සිමෙන්ති වර්ග සියල්ලම පාහේ මෙම කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කිරීමට නියමිතයි.” ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පුද්.) සමාගමේ විධායක අධ්‍යක්ෂ ධම්මික ලොකුවිතාන මහතා පැවසී ය.

ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදන සමාගම වන සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගමේ සහෝදර සමාගමයි. උසස් තත්ත්වය හා නවෝත්පාදනය සම්බන්ධ තම සුපුරුදු දර්ශනය ඔස්සේ වෙළඳපොළ ප්‍රමුඛත්වය නැවත නැවතත් තහවුරු කරගැනීම සමාගමේ අරමුණ වී තිබේ. මෙම නව කර්මාන්තශාලාව මගින් දේශීය සිමෙන්ති ඉල්ලුම සපුරාලීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇති අතර, එම නිසා මින් ඉදිරියට රටේ ඉදිකිරීම් කර්මාන්තයට ආනයන මත රඳාපැවතීමට සිදු නොවනු ඇත. දැනට පවතින තත්ත්වය දෙස බලන විට, එය දේශීය ඉදිකිරීම් කර්මාන්තයට ඉමහත් අස්වැසිල්ලක් වනු නොඅනුමාන ය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව