රොෂාන් මහානාම භාරය එළිදකී

Image 1 (LBN Fill)

 



 

 

2022 ඔක්තෝබර් 04, කොළඹ: ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය තරුවක් මෙන්ම මානව හිතවාදියෙකු ලෙස විශාල කීර්තියක් දිනා සිටින රොෂාන් මහානාම මහතා පසුගියදා රොෂාන් මහානාම භාරය නිල වශයෙන් දියත් කළේ ය. රටේ අඩු වරප්‍රසාදලාභී දරුවන්ගේ යහපත උදාකර දීම සඳහා විවිධ පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කළ හැකි වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වී ඇත. පුණ්‍ය භාරයක් ලෙස ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි කර ඇති රොෂාන් මහානාම භාරය නිල වශයෙන් මෙරට ජනතාවට හඳුන්වා දීමේ උත්සවය, ‘Spreading Humanity Beyond Boundaries’ යන තේමාපාඨය යටතේ 2022 ඔක්තෝබර් 04 දින කොළඹදී පැවැත්විණි.

මෙම භාරයේ  ප්‍රධාන තේමාව වන ‘We Promise’ යන්න, මෙරට දරුවන්ගේ යහපත වෙනුවෙන් කැපවීම උදෙසා රොෂාන් මහානාම මහතා විසින්ම ලබාදෙන ලද ප්‍රතිඥාවකි. දරිද්‍රතාවෙන් පෙළෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී ජීවිතයක් සහ තම අනාගතය කැමති පරිදි හැඩගස්වා ගැනීමට අවස්ථාව ලැබෙන සුරක්ෂිත පරිසරයක් හිමි විය යුතු බව ඒ මහතා දැඩි ලෙස විශ්වාස කරයි.

“දශක ගණනාවක් තිස්සේ විවිධ සමාජ සුභසාධන සහ පුණ්‍ය කටයුතුවල නියැළී සිටින අයෙකු ලෙස, පිළිසරණක් අවශ්‍ය පුද්ගලයන්, විශේෂයෙන් දරුවන් වෙනුවෙන් මගේ උපරිමය කිරීමට මා කිසි විටෙකත් පසුබට වන්නේ නැහැ. අද දවසේ දරුවන් හෙට දවසේ වැඩිහිටියන් මෙන්ම පුරවැසියන් බවට පත්වෙනවා. ඔවුන් යහපත් සිතිවිලි සහිත පුද්ගලයන් බවට පත්කිරීම සඳහා පාසල් අධ්‍යාපනය ඇතුළු අනෙකුත් සාධක සපුරාලීම අත්‍යවශ්‍යයි. මේ අලුත් ගමන ආරම්භ කරන මොහොතේ, අපගේ අනාගත පරම්පරාවට වඩාත් යහපත් අනාගතයක් උදාකර දීම සඳහා මා සමග එක්වන මෙන් මා සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා.” රොෂාන් මහානාම මහතා පැවසී ය.

අවංකභාවය, විශ්වාසනීයත්වය විනය, පක්ෂපාතීත්වය සහ මිත්‍රත්වය යන සාරධර්ම මත පදනම් වී ඇති රොෂාන් මහානාම භාරය ප්‍රධාන ඉලක්ක කිහිපයක් මුල්කරගෙන ක්‍රියාත්මක වේ. ශිෂ්‍යත්ව පිරිනැමීම, අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් සහ යටිතල පහසුකම් නැංවීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම, විවිධ අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම සහ කුසලතා සංවර්ධනය ඔස්සේ තරුණ තරුණියන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, අත්වැලක් අවශ්‍ය දරුවන්ට එම අත්වැල ලබාදීම, බරපතළ රෝගාබාධ වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකිරීම, ස්වාභාවික හෝ මිනිසුන් විසින් ඇතිකරනු ලබන ආපදා වලදී සහනයක් වෙමින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, දරිද්‍රතාව, ආබාධ, ජාතිය, ආගම, සහ ස්ත්‍රී පුරුෂ භාවය වැනි සාධක නිසා කොන්වීමට ලක් වී සිටින සියලුම පුරවැසියන් යළි සමාජගත කිරීම, සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවම කිරීම ආදිය මීට අයත් ය.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පමණක් නොව ඕනෑම ක්‍රීඩා ක්ෂේත්‍රයක සුප්‍රකට ක්‍රීඩකයෙකු තමන්ගේම පුණ්‍ය භාර අරමුදලක් පිහිටවූ ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ අතින් රොෂාන් මහානාම මහතා ජනප්‍රිය පුද්ගලයන් සමාජ සත්කාර වල නියැළීම සම්බන්ධයෙන් තවත් ආදර්ශයක් ලබා දී තිබෙනවා. දරුවන්ගේ හැකියාවන් අවදි කර ඔවුන්ගේ යහපත උදාකර දී ඒ ඔස්සේ රට පෙරට රැගෙන යාම සඳහා කැපවුණු මෙවැනි උදාර මෙහෙවරකට දායක වීමට ලැබීම මට මහත් සතුටක් සහ ආඩම්බරයක්.” රොෂාන් මහානාම භාරයේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවා ය.

රට තුළ සාධනීය වෙනසක් ඇති කිරීම සඳහා රොෂාන් මහානාම භාරය ‘අධ්‍යාපනය හා වර්ධනය, සෞඛ්‍යය හා යහපැවැත්ම, සහ සුරක්ෂිත පරිසරයක්’ වැනි ප්‍රධාන අංශ කිහිපයක් හඳුනාගෙන ඇති අතර, එම අංශ වලට අදාළව තිරසාර වෙනස්කම් ඇතිකිරීම සඳහා විවිධ පාර්ශ්වකරුවන් සමඟ අත්වැල් බැඳගැනීමට අපේක්ෂා කරයි. ඉදිරියේදී මෙම භාරය හේමාස් අවුට්රීච් පදනමේ පියවර පෙරපාසල් වැඩසටහන, SOS ළමා ගම්මාන වැඩසටහන, රොෂාන් විජේරාම පවුල් භාරය, ඉන්දිරා පිළිකා භාර අරමුදල, සුව අරණ, ‘Community Meal Share’ භාරය, ආයති භාරය, Sri Lanka College of Pediatricians (Feed a Child සහ ළමා පියස වැනි වැඩසටහන්) යනාදී පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කරනු ඇත.

රොෂාන් මහානාම භාරය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයේදී එම භාරයේ ලාංඡනයද එළිදක්වන ලදි. ලොවටම ආදරය පිරිනමමින්, ක්‍රිකට් ක්‍රීඩාවේ සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත්කිරීම අරමුණු කරගත් රොෂාන් මහානාම මහතාගේ ආකල්ප නියෝජනය වන පරිදි මෙම ලාංඡනය නිර්මාණය කර තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව