රුපියල් බිලියන 25.5 ක රක්ෂණ වාරික ආදායමක් සමඟ සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 18 වන වසරට ශ‍්‍රී ලංකාවේ අංක 1 බවට පත්වෙයි

Chairman Mr R. Renganathan and Managing Director CEO Mr Thushara Ranasinghe (2)

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොළ තුළ නායකත්වය අඛණ්ඩව 18 වන වසරට රඳවා ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගම, 2021 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 සඳහා රුපියල් බිලියන 25.565 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් වාර්තා කර ඇති අතර එය 15.8% ක වර්ධනයකි.

මෙහිදී, වසර තුළ ලබාගත් රුපියල් බිලියන 15.129 ක ආයෝජන සහ අනිකුත් ආදායම් සමගින් 2021 වසරේ සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 40.694 ක් දක්වා 2020 වසරට සාපේක්ෂව 10% කින් වර්ධනය වී ඇත. මේ අතර, සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයෝජන වත්කම් වසර අවසන් වනවිට ගෙවී ගිය මාස 12 තුළදී රුපියල් බිලියන 20.748 කින් හෙවත් 15.52% කින් රුපියල් බිලියන 154.455 ක් දක්වා වර්ධනය වී තිබේ.

එසේම, සමාගමේ ජීවිත රක්ෂණ අරමුදල 2021 දෙසැම්බර් 31 වනදා වනවිට 12% කින් රුපියල් බිලියන 119.634 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මේ කාලයේදී රුපියල් බිලියන 11.803 ක මුදලක් ජීවිත රක්ෂණ අරමුදලට බැරකර ඇත. එම බැරකළ මුදල 2020 වසරේ බැරකළ මුදලට වඩා 25% ක වැඩිවීමකි.

සලකා බලන වසරක කාලය තුළදී සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 22.9 කින් හෙවත් 15.23% කින් වර්ධනය වී වසර අවසන් වනවිට සමස්ත වත්කම් රුපියල් බිලියන 173.762 ක්වී තිබේ. එය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 1.9 කට අධික වත්කම් වැඩිවීමක් බව සමාගම සඳහන් කරයි.

අභියෝගාත්මක වසරකදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ කාර්යසාධනය පිළිබඳව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ජීවිත රක්ෂණය තුළින් ශ‍්‍රී ලාංකිකයින්ගේ අනාගතය අවධානමෙන් මුදවා ගැනීමේ අපගේ මූලික අරමුණ කෙරෙහි අපගේ අවධානය අඩපණ කිරීමට බාහිර සාධක වලට අවස්ථාව ලබා නොදීමේ වැදගත්කම අපගේ 2021 ප‍්‍රතිඵල මගින් විදහා දක්වනවා. ආර්ථික අවිනිශ්චිතතාවය මගින් ඇතිකළ පීඩනය සහ වෙනස් වන ප‍්‍රතිපත්ති 2021 වසරේදී බොහෝ ව්‍යාපාර වලට අභියෝගයක් එක්කළා. නමුත්, සෙලින්කෝ ලයිෆ් සමාගම තම රක්ෂණ ඔප්පු හිමියන්ගේ අවශ්‍යතා පිළිබඳව අවධානය යොමුකරමින් වර්ධනය අඛණ්ඩවම පවත්වාගෙන යාමට සමත් වුණා.’

සලකා බලන වසර තුළදී සමාගම විසින් රුපියල් බිලියන 12.736 ක ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ රක්ෂණ ඔප්පුහිමියන්ට ගෙවීමට සමත්වී තිබෙන අතර එය පෙර වසර සමග සැසඳීමේදී 3.8% ක වර්ධනයක් බව සමාගම සඳහන් කරයි. මේ අතර, මෙම කාල සීමාව තුළදී කොටස්කරුවන්ගේ අරමුදලට රුපියල් බිලියන 4.5 ක මුදලක් බැර කිරීම හේතුවෙන් 2021 වසර අවසන් වනවිට රුපියල් බිලියන 44.194 ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අතර, සලකා බලන වසර තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ මූලික කොටසකට අදාළ ලාභය රුපියල් 137 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම 2021 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් 883.88 ක්වී ඇත. එය 15.8% ක වර්ධනයක් බව සමාගම පවසයි.

2021 වසර තුළදී සමාගම විසින් වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ප‍්‍රතිචාරයක් දක්වන නව රක්ෂණ සැලසුම් දෙකක් වශයෙන් ‘ෆියුචර් සේවර්’ සහ ‘එඩියුකේෂන් ප්‍රොටෙක්කර්’ හඳුන්වා දෙන ලදී. ‘ෆියුචර් සේවර්’ නව සංකල්පයකින් යුතු ජීවිත රක්ෂණ සැලසුමක් වන අතර ඒ තුළින් සුරක්ෂිතතාවය ලබාදෙන අතරම ධනය රැස්කර ගැනීමේ අවස්ථාවද ලබාදී තිබේ. රක්ෂණ ඔප්පුහිමියන්ට තම දිගුකාලීන අරමුණු සැලසුම් කරගත හැකි පරිදි මෙම රක්ෂණ සැලසුම නිර්මාණය කර තිබෙන අතර ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය පවතින කෙටි කාලය තුළදී වුවද අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීමට මෙමගින් අවස්ථාව ලබාදෙයි. ‘එඩියුකේෂන් ප්‍රොටෙක්කර්’ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් සමාගම විසින් නිර්මාණය කර තිබෙන රක්ෂණ සැලසුමයි. මෙහිදී, දෙමව්පියෙකුට එක් වරක් පමණක් රක්ෂණ වාරික මුදලක් ගෙවීම මගින් ඔහු හෝ ඇයගේ අභාවයකදී හෝ පූර්ණ සහ සදාකාලික අබලතාවයකදී තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවස්ථාව සුරක්ෂිත කර ඇත.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2021 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව අටවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත්, 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව