‘රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය 2025’ අතිසාර්ථක ලෙස නිමාව දකී

Image - Ritzbury Relay Carnival - Under 18 Boys Champions (LBN)

ශ්‍රී ලංකාවේ යොවුන් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා රැසක් කරළියට

‘රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය 2025’ පසුගිය අප්‍රේල් 11 දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. දිවයින පුරා පාසල් 250 කට ආසන්න සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් දින 3 ක් පුරා පැවති මෙම තරගාවලියේදී නව තරග වාර්තා රැසක් පිහිටුවීමට මෙරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙය ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා මෙන්ම අධිෂ්ඨානය හා ක්‍රීඩාශීලීත්වය ජාතික තලය තුළ ප්‍රදර්ශනය කිරීමට ලැබුණු අනගි අවස්ථාවක්  විය.
 



 
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේ රිට්ස්බරි සන්නාමයයි. මෙය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගතය ආලෝකමත් කිරීමට සූදානමින් සිටින දක්ෂයන් බලගැන්වීම සඳහා රිට්ස්බරි දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් මැනැවින් පිළිබිඹු කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

තරගාවලියේදී ලකුණු 155 ක් වාර්තා කරමින් බාලක කාණ්ඩයේ ශූරතාවය දිනාගැනීමට කොළඹ 13 ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් වූ අතර එහි දෙවැනි හා තුන්වැනි ස්ථාන පිළිවෙළින් මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් විද්‍යාලයට හිමි විය.

තරගාවලියේ බාලිකා කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා ලද්දේ ලකුණු 130 ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසිනි. එහි දෙවැනි ස්ථානය වලල ඒ. රත්නායක විද්‍යාලය විසින්ද, තෙවැනි ස්ථානය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය විසින්ද දිනාගන්නා ලදි.

2025 රිට්ස්බරි සහය දිවීමේ තරගාවලියේ විශේෂත්වය වූයේ, අවසන් දිනයේදී ජාත්‍යන්තර සහය දිවීමේ තරග වටයක්ද පැවැත්වීමය. ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ ඉල්ලීම පරිදි මෙම තරග වටය සංවිධානය කරන ලද අතර, මෙය ශ්‍රී ලංකාවේ ජාතික සහය දිවීමේ කණ්ඩායමට ලෝක සහය දිවීමේ ශූරතාවලියට සුදුසුකම් ලැබීම සඳහා ලැබුණු අනගි අවස්ථාවක් විය.

ජාත්‍යන්තර සහය දිවීමේ තරග වටය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පිලිපීනය සහ මාලදිවයින යන රටවල කණ්ඩායම් සහභාගී වූ අතර, එහිදී ජයග්‍රහණය හිමිකරගන්නා ලද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම විසිනි. රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය ලෝක මළල ක්‍රීඩා සම්මේලනයේ නිල වශයෙන් ලියාපදිංචි වී ඇති නිසා මෙම තරග වටයේ ප්‍රතිඵල ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන අතර, එය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගවලට සුදුසුකම් ලැබීම සඳහා ලැබුණු සුවිශේෂී අත්වැලක් විය.

2025 රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් මෙන්ම ඔවුන්ගේ එකමුතු බව, ක්‍රීඩාශීලීත්වය සහ අපේක්ෂාවන් මුදුන්පත් කළ සුවිශේෂී තරගාවලියක් ලෙස හැඳින්විය හැකි වේ. රට පුරා විවිධ පළාත්, පාසල් සහ පසුබිම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් ඊට සහභාගී වූහ. එය ශ්‍රී ලංකාවේ පාසල් මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධත්වය හා විශිෂ්ටත්වය දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විය.

මේ ආකාරයට පාසල් මට්ටමින් සහ ජාතික මට්ටමින් ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගන්වමින්, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් කැපවීම රිට්ස්බරි සන්නාමයේ අරමුණ වී තිබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව