
OrphanCare වැඩසටහන විසින් ශ්‍රී ලංකාව පුරා වෙසෙන දෙමාපිය රැකවරණය අහිමි දරුවන් වෙනුවෙන් සිදුකර ඇති මෙහෙවර පිළිබඳ විශේෂ වාර්තාවක් පසුගියදා එළිදක්වන ලදි. OrphanCare මෙහෙවර පිළිබඳව මෙබඳු වාර්තාවක් එළිදක්වන ලද ප්‍රථම අවස්ථාව මෙයයි.
අතිශයින් තීරණාත්මක, එහෙත් බොහෝ විට නොසලකා හරිනු ලබන බරපතළ සමාජයීය ගැටලුවක් වූ, වයස අවුරුදු 18 ට පිරුණු පසුව ළමා සුරැකුම් නිවාසවලින් පිටව යාමට සිදු වන, දෙමාපිය රැකවරණය අහිමි වූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ගැටලුව පිළිබඳව මෙම වාර්තාව මගින් අවධානය යොමුකර තිබේ. මෙම දරුවන් සමාජය තුළ දෙවැනි වරටත් අත්හැර දමනු ලැබීමකට ඉඩ නොතබමින්, ආත්ම ගෞරවයෙන් යුත් වැඩදායී පුරවැසියන් ලෙස ජීවත් වීමට ඔවුන්ට අවස්ථාව සලසා දීම සඳහා OrphanCare මගින් ඉටු වන මෙහෙවර මෙම වාර්තාව මගින් සහතික කරයි.
මෙම වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට OrphanCare භාරයේ සභාපති රුස්ලි හුසේන් මහතා ඇතුළුව OprphanCare හි භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, ශරාඩ් අමලියන්, කේ. ආර්. රවීන්ද්‍ර, ටයියූබ් අක්බරලි, ජස්රි මැග්ඩන් ඉස්මයිල් සහ මොහොමඩ් අස්මීර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 2019 වසරේ OrphanCare දියත් කරන ලද අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, අමානා බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්, හවුල්කාර ආයතනවල නියෝජිතයන්, පරිත්‍යාගශීලීන්, සුභ පතන්නන් සහ ව්‍යාපාර ලෝකයේ කැපීපෙනෙන පුද්ගලයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. OrphanCare භාරය එහි ආරම්භක අනුග්‍රාහකයා වන Amana බැංකුවේ අනුග්‍රහය යටතේ පිහිටුවන ලද ස්වාධීන භාරයක් ලෙස ක්‍රියාත්මක වේ.
මෙම වාර්තාව තුළ OrphanCare භාරය මගින් මෙතෙක් ඉටු වී ඇති සුවිශාල මෙහෙවර මැනැවින් විස්තර කර ඇත. රට පුරා ළමා සුරැකුම් නිවාස 92 ක ජීවත් වූ සහ ජීවත් වන, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් 3,200 කට අධික පිරිසක් මේ දක්වා OrphanCare මූල්‍ය ආධාරවලින් ප්රතිලාභ ලබා තිබේ. OrphanCare අරමුදල් මෙරට දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට උසස් අධ්‍යාපනය හැදෑරීම සහ කුඩා පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කිරීම ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ ජීවිතය ජයගැනීමට අත්වැලක් වී ඇති ආකාරය කියැවෙන කථා පුවත් රැසක්ද මෙම වාර්තාවෙහි අඩංගු වේ. නිවැරදි අත්වැලක් ලැබීම හේතුවෙන් මෙම තරුණ තරුණියන් පැහැදිලි අරමුණක් සහ ආත්ම විශ්වාසයක් සමගින් වඩාත් යහපත් අනාගතයක් උදාකරගත් ආකාරය මෙම කථා පුවත් මගින් මැනැවින් පිළිබිඹු වේ. වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී මේ අතරින් සංවේදී කථා පුවත් කිහිපයක් ඉදිරිපත් කරන ලද අතර, ජීවිතයේ අති දුෂ්කර කාලපරිච්ඡේදයන් පසුකරමින් බලාපොරොත්තු රැසක් සමග නව යුගයක් කරා පැමිණි එම තරුණ තරුණියන්ගේ ශක්තිය, ධෛර්යය සහ ආත්ම විශ්වාසය පිළිබඳව කියැවෙන එම කථා පුවත්, නරඹන්නන්ගේ ඇසට කඳුළක් එක්කිරීමට සමත් විය.
වාර්තාව එළිදැක්වීමට අමතරව එම අවස්ථාවේදී, කීර්තිමත් සංචාරක ඡායාරූප ශිල්පී නවාස් ජේ. විල්කාසිම් මහතා විසින් රචිත ‘Hidden Gems and A Traveler’s Tale’ නම් ග්‍රන්ථය අලෙවියෙන් ලැබුණු මුළු ආදායම වශයෙන් රුපියල් මිලියන 15 කට අධික මුදලක් උත්සවාකාරයෙන් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුකරන ලදි.
මෙම උත්සවය OrphanCare වැඩසටහනට නන් අයුරින් සහය දුන් සියලු දෙනා ඇගයීමට ලැබුණු මහඟු අවස්ථාවක්ද විය. OrphanCare ආයතනික හවුල්කරුවන් වන Agility Innovation සහ Expolanka, ගරු විගණන හවුල්කරු වන Ernst & Young, වෙළඳ හවුල්කරුවන් වන Paan Paan, Caravan Fresh, American Premium Water, Emerald Shirts, Rough Clothing, Merc Lanka සහ 73 Avenue Realtors, රැකවරණ සහකරු වන Cool Planet සහ සේවා හවුල්කරුවන් වන Optima Designs, eBeyonds, Pay&Go සහ Webxpay යන සමාගම් හා ආයතන මෙහිදී ඇගයීමට ලක් විය. මෙම වාර්තාවට එම හවුල්කරුවන්ගේ ලැයිස්තුවක්ද ඇතුළත් වන අතර, OrphanCare හි මෙහෙවර සාක්ෂාත් කරගැනීම සඳහා එම හවුල්කරුවන් වෙතින් ලැබෙන දායකත්වය ඇගයීමටද ලක්කර ඇත.
වාර්තාව එළිදැක්වීමට තුඩුදුන් කරුණු පිළිබඳව අදහස් දක්වමින් රුස්ලි හුසේන් මහතා මෙසේ පැවසීය: “මෙම වාර්තාව හුදෙක් සංඛ්‍යාලේඛන සහ දත්ත එකතුවක් නොවේ; එය අපගේ මෙහෙවර මගින් තම ජීවිත යහපත් කරගත් දහස් ගණනක් දරුවන්ගේ බලාපොරොත්තු, සිහින සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරන්නක්. අපගේ අරමුණ වන්නේ දෙමාපිය රැකවරණ අහිමි වූ කිසිදු දරුවෙකු සමාජය තුළදී දෙවැනි වරටත් අත්හැර දැමීමකට ලක් නොවන බවට වගබලා ගැනීමයි. සමාජයට වැඩදායක පුරවැසියන් වීම සඳහා ඔවුන්ට අවශ්‍ය මූලික සහයෝගය අපි ඔවුන්ට ලබා දෙනවා. මේ උදාර මෙහෙවරට නොමසුරුව දායක වීම පිළිබඳව අපගේ සියලුම පරිත්‍යාගශීලීන්ට සහ හවුල්කරුවන්ට අප හදවතින්ම ස්තූතිවන්ත වනවා.”
ආරම්භක අනුග්‍රාහකයා ලෙස OrphanCare වැඩසටහන සම්බන්ධයෙන් අමානා බැංකුවේ කැපවීම යළි තහවුරු කරමින්, එහි කළමනාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසීය. “OrphanCare වැඩසටහනට අදාළ සියලුම පරිපාලන හා මෙහෙයුම් වියදම් දරනු ලබන්නේ අමානා බැංකුව මගිනුයි. එම නිසා මෙම වැඩසටහනට පරිත්‍යාග කරනු ලබන සෑම රුපියලක්ම සම්පූර්ණයෙන්ම දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් යෙදවීමට අපට හැකි වී තිබෙනවා. මේ තත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වීම අපට මහත් සතුටක් සහ ආඩම්බරයක්. OrphanCare වැඩසටහනේ සාර්ථකත්වය පිළිබිඹු වන්නේ සංඛ්‍යාලේඛනවලින් පමණක් නොවෙයි. OrphanCare අත්වැල හිමි වූ දරුවන්ගේ ජීවිතවල සිදු වූ යහපත් පරිවර්තනයන්, ඔවුන්ගේ අලුත් වූ බලාපොරොත්තු සහ ඔවුන් තුළ ඇති වූ ගෞරවය හා ආත්ම විශ්වාසය තුළිනුත් එය මැනැවින් නිරූපණය වනවා. මෙම වාර්තාවේ දක්වා ඇති කථාපුවත් ඊට ඉතා හොඳ නිදර්ශනයක්. OrphanCare වැඩසටහන සාර්ථක කරගැනීමට ලබාදුන් දායකත්වය වෙනුවෙන් අපගේ භාරකාර මණ්ඩලයට සහ අමානා බැංකුවේ අතීත හා වර්තමාන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට හෘදයාංගම ස්තූතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම ස්වේච්ඡාවෙන් තම කාලය හා ශ්‍රමය කැපකිරීමෙන් නොනැවතී, ස්ථාවර නියෝග හරහා මාසික දායකත්වයන්ද ලබාදෙමින් මේ උදාර මෙහෙවරට දායක වෙමින් සිටින අමානා බැංකුවේ කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතියක් හිමි විය යුතුමයි.”
OrphanCare භාරයේ මෙහෙවරට මගපෙන්වන මූලධර්ම පිළිබඳව එහි භාරකාර මණ්ඩලයේ සාමාජික ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතා මෙසේ අදහස් දැක්වීය. “OrphanCare වැඩසටහන විශ්වීය මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබිඹු කරන මූලධර්ම එකතුවක් මත ක්‍රියාත්මක වන මෙහෙවරක්. පළමුව, මෙය එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ දෙවැනි වගන්තියට අනුව කිසිදු ජාති, ආගම් හෝ වර්ණ භේදයකින් තොරව සියලුම දරුවන්ට ප්රතිලාභ ලැබීමට අවස්ථාව සලසා දී තිබෙනවා. දෙවනුව, එය අපගේ සමාජය තුළ බරපතළ අවදානමට ලක්විය හැකි කොටසකට සාධාරණ අවස්ථා ලබා දීම තුළින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 10 වැනි ඉලක්කය වන අසමානතා අවම කිරීම සඳහා සෘජුවම දායක වනවා. මෙම මූලධර්ම හුදෙක් මාර්ගෝපදේශ පමණක් නොවෙයි. ඒවා අපගේ මෙහෙයුම්වල අඩිතාලමයි. ඒවා අනුගමනය කිරීම තුළින් අපට සෑම දරුවෙකුටම නිසි ගෞරවය හිමි වන සහ ඔවුන්ට වඩාත් සාර්ථක ජීවිතයක් ගතකිරීමට අවස්ථාව ලැබෙන පසුබිමක් නිර්මාණය කිරීමට හැකි වී තිබෙනවා.”
වැඩිදුරටත් අදහස් දක්වමින් හර්ෂ අමරසේකර මහතා මෙසේ පැවසීය. “තම පොත් අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ මුදල OrphanCare වෙත පරිත්‍යාග කිරීම පිළිබඳව අප නවාස් ජේ. විල්කාසිම් මහතාට බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා. එය අපගේ මෙහෙවර පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තර තලය වෙතද රැගෙන යාමට උපකාරී වන සත්ක්රියාවක්. ඒ මහතාගේ දායකත්වය මූල්‍යමය දායකත්වයට පමණක් සීමා වන දෙයක් නොවෙයි. මේ සඳහා කාලය හා ශ්‍රමය කැප කරමින් ඔහු ඉටු කළ මෙහෙවර ප්‍රශංසනීයයි. ඒ වගේම, OrphanCare මෙහෙවර සාර්ථක කරගැනීමට නන් අයුරින් දායක වූ සහ දායක වන අපගේ සියලුම හවුල්කරුවන්ට අප බෙහෙවින්ම කෘතඥ වනවා. OrphanCare වැඩසටහන අඛණ්ඩව දියුණුවෙන් දියුණුව කරා යමින් පවතින්නේත්, ප්‍රතිලාභීන්ට පුළුල් මට්ටමින් ප්රතිලාභ මුදල් පිරිනැමීමට හැකි වී තිබෙන්නේත් එවැනි සාමූහික ත්යාගශීලීත්වයන් නිසයි. මේ නොමසුරු පරිත්‍යාගයන් නිසා, මේ ආකාරයට වඩාත් යහපත් හෙට දවසක් උරුම කරගත් දරුවන් පිළිබඳව කථා පුවත් ඇසීමේ හා දැකීමේ වාසනාව අපට ලැබී තිබෙනවා. අපගේ දරුවන් වෙනුවෙන් මෙන්ම සමස්ත දරු පරපුර වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරන්නේ එයයි.”
OrphanCare මෙහෙවර පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගනීම සහ එම වැඩසටහන තුළින් ජීවිත යහපත් කරගත් දරුවන් පිළිබඳව කථා පුවත් කියවීම සඳහා www.orphancare.org වෙත පිවිසී සම්පූර්ණ වාර්තාව බාගත (Download) කරගන්න.


