
එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැති යෝනෙක්ස් සමස්ත එංගලන්ත කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියේ අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ සමත්වූවාය. ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ ක්‍රීඩිකාව ලෙස තරගාවලියට එක්වූ ඇය අවුරුදු 19න් පහළ බාලිකා ඒකල අවසන් මහා තරගයේදී එංගලන්තයේ ආහ්නා බාතියා ලකුණු 21-11ක් සහ 21-7ක් ලෙස පරාජය කරමින් ශූරතාවට හිමිකම් කීවාය.
ශ්‍රී ලංකාවේ ජාතික ශූරිය ද වන රනිත්මා ලියනගේ ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරිම්වල 109 වැනි ස්ථානයේ පසුවන අතර, ඇය හමුවේ පරාජයට පත්වූ එංගලන්ත ක්‍රීඩිකාව ශ්‍රේණිගත කිරීම්වල 1209 වැනි ස්ථානයේ පසුවූවාය. මෙම ශූරතාවලියේ මූලික වටයේදී නිතරග ජයක් ලබා දෙවැනි වටයට පිවිසි රනිත්මා එහිදී එංගලන්තයේ ග්‍රේටා චෝයි ලකුණු 21-9ක් සහ 21-12ක් ලෙස පරාජය කිරීමට සමත්වූ අතර, තුන්වැනි වටයේදී පෘතුගාලයේ මෆල්ඩා ඇවෙලිනෝට එරෙහිව ලකුණු 21-15ක් සහ 21-12ක ජයක් අත්කරගත්තාය.
අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තයේ තවත් ජයග්‍රහණ බලාපොරොත්තුවක් වූ රජ්වි පරාබ් ලකුණු 21-7ක් සහ 21-12කින් පරාජය කළ රනිත්මා අනතුරුව අවසන් පූර්ව වටයේදී ලකුණු 21-15ක් සහ 21-10කින් අයර්ලන්තයේ මිචේල් ෂොචාන් පරාජයට පත් කරනු ලැබුවේ මිනිත්තු 31ක් ඇතුළතදීය.
මැක්ලරන්ස් හෝල්ඩිංග්ස් පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ යෝනෙක්ස් සමස්ත එංගලන්ත කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වූ රනිත්මා සමස්ත තරගාවලියේ සියලු තරග වට ජයග්‍රහණය කරමින්
ශූරතාව අත්පත් කරගැනීම කැපී පෙනේ.
ලොව පුරා ප්රබලතම යොවුන් ක්‍රීඩිකාවන් 57 දෙනකු සහභාගි වූ එම තරග ඉසව්වේ ජයග්‍රහණය රනිත්මාගේ බැඩ්මින්ටන් ක්‍රීඩා දිවියේ කැපී පෙනෙන සංධිස්ථානයක් බවට පත්වූ අතර, මේ ජයග්‍රහණයත් සමඟ ඇය ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම පසුවන බැඩ්මින්ටන් ක්‍රීඩිකාව ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගත්තාය.


