බ්‍රැන්ඩික්ස් පානීය ජල සැපයුම් හා ජල සංරක්ෂණ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට

Brandix-‘Care for Our Own’ projects ensure that all employees of Brandix have access to clean water for drinking and household activities

 



 

 

 

බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය වෙනුවෙන්, ජනතාවට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට තමන් දරන උත්සාහය සහ, දේශගුණ විපර්යාසයන් හේතුවෙන් මතුවන අභියෝග වලට මුහුණ දීම සඳහා ජලය සුරැකීමේ වැදගත්කම යළි අවධාරණය කළේ ය.

මීට දශක දෙකහමාරකට පමණ පෙර බ්‍රැන්ඩික්ස් සිය ‘මනුසත්කාර’ වැඩසටහන යටතේ තම සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් පිරිසිදු ජල පහසුකම් ලබාදීම සඳහා ‘මෙහෙවරට දියවර’ ව්‍යාපෘතිය දියත් කරන ලදි. මේ වනවිට මඩකලපුවේ සිට කොග්ගල දක්වා රටපුරා ‘මෙහෙවරට දියවර’  ව්‍යාපෘති 4,200 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාවට නංවමින්, තම සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාට සහ ඔවුන්ගේ පවුල් වලට පිරිසිදු ජල පහසුකම් ලබාදීමට බ්‍රැන්ඩික්ස් සමත් වී ඇත. මෙවැනි ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් දියුණු වෙමින් පවතින රටවල කාන්තාවන් සහ ගැහැනු දරුවන්ගේ යහපත උදෙසා අතිශයින් වැදගත් ය. පිරිසිදු ජල පහසුකම් නොමැති විට ඔවුන්ට බොහෝ දුරට ජලය රැස්කිරීම සඳහා තම කාලය කැපකිරීමට සිදුවන අතර, මෙය ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට සහ ආර්ථික කටයුතු වල යෙදීමට පවතින ප්‍රධානතම බාධාවකි.

මෙම ‘බ්‍රැන්ඩික්ස් මනුසත්කාර’ තම සාමාජික සාමාජිකාවන්ට පමණක් සීමා නොකර සිය කර්මාන්තශාලා ආසන්නයේ වෙසෙන ජනතාව වෙතද ව්‍යාප්ත කිරීම  සඳහා ආදර්ශ ගම්මාන වැඩසටහනක්ද බ්‍රැන්ඩික්ස් විසින් ක්‍රියාවට නංවන ලදි. මෙමගින් පුද්ගලයන්ට පමණක් නොව, සමාජයේ යහපත වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන පාසල්, රෝහල්, ප්‍රජා මධ්‍යස්ථාන සහ ආගමික ස්ථාන ආදිය සඳහාද යහපත සැලසේ. මේ වනවිට මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන තුළින් ප්‍රතිලාභ හිමි වී ඇති පිරිස මිලියනයකට අධික ය.

විශේෂයෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සනීපාරක්ෂාවට මුල්තැන දීමට සිදු වූ පසුගිය කාලය තුළ ‘මෙහෙවරට දියවර’ සහ ආදර්ශ ගම්මාන ව්‍යාපෘති තුළින් ඉටු වූ මෙහෙවර, එම ව්‍යාපෘති වලින් ප්‍රතිලාභ හිමිවූවන් ඇතුළුව සියලුම දෙනාගේ ප්‍රශංසාවට ලක්විය.

මෙවර ලෝක ජල දිනය වෙනුවෙන්, තවත් ‘මෙහෙවරට දියවර’ ව්‍යාපෘති 87 ක් සම්පූර්ණ කර තම සාමාජික සාමාජිකාවන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල් වෙත භාරදීමට බ්‍රැන්ඩික්ස් කටයුතු කළේ ය. එමෙන්ම බ්‍රැන්ඩික්ස් සමූහය ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගෙන සිටින අතර, ආදර්ශ ගම්මාන වල පිහිටි පාසල් වල තාප්ප මත චිත්‍ර ඇඳීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවා තිබේ. ‘ජලය ජීවයයි’ යන තේමාව යටතේ ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ, ජල සම්පත සුරැකීමේ වැදගත්කම පිළිබඳව නිර්මාණශීලී ලෙස දරු පරපුරට අවබෝධ කරවීම ය.

සැබැවින්ම අර්ථවත් සමාජ පරිවර්තනයක් සිදුවීමට නම්, ප්‍රජාවේ යහපත උදෙසා ජලයෙහි වැදගත්කම වටහා ගැනීම මෙන්ම, දේශගුණ විපර්යාස හමුවේ අප සතු සීමිත සම්පත් ප්‍රමාණය රැකගැනීම සඳහා තිරසාර වැඩසටහන් ක්‍රියාවට නැංවීමද අත්‍යවශ්‍ය බව බ්‍රැන්ඩික්ස් විශ්වාස කරයි. බ්‍රැන්ඩික්ස් සමූහයේ පාරිසරික තිරසාරත්ව රාමුව පදනම් වී ඇත්තේ වාතය, ජලය සහ භූමිය යන සාධක මත වන අතර, වර්තමානයේ අප ජීවත් වන ලෝකය මුහුණ දෙන සංකීර්ණ අභියෝග වලට පිළියම් සෙවීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන තිරසාර නිෂ්පාදකයෙකු බවට පත්වීම එහි මූලික ඉලක්කය වී තිබේ.

සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම ඉලක්ක කරගත් බහුවිධ ප්‍රවේශයක් මේ වනවිට ක්‍රියාවට නංවා, නිරන්තරයෙන් වැඩිදියුණු කරමින් පවතින අතර, 2023 වසර වනවිට ජලය අපතේ යෑම් සහමුලින්ම නැවැත්වීමට බ්‍රැන්ඩික්ස් සමූහය කටයුතු කරමින් සිටී. උණුසුම්කරණ, වාතාශ්‍ර සහ වායුසමීකරණ පද්ධති ආශ්‍රිත වාෂ්ප ජලය ඝනීභවනය කරන නැවත භාවිතයට ගැනීමේ වැඩසටහන මේ සඳහා අගනා උදාහරණයක් වන අතර, මෙම වැඩසටහන දැනටමත් කර්මාන්තශාලා කිහිපයක ක්‍රියාවට නංවා ඇත.

මේ වනවිට මඩකලපුව සහ රඹුක්කන කර්මාන්තශාලා වල ක්‍රියාත්මක කර ඇති, දියර අපද්‍රව්‍ය බැහැර කිරීම නැවැත්වීමේ වැඩසටහනට අනෙකුත් කර්මාන්තශාලා වෙතද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම වැසිකිළි සහ වගා කටයුතු සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය භාවිතා කිරීමේ වැඩසටහනද පුළුල් කර ඇත. මේ වැඩසටහන් සියල්ල සමගින්, 2020/21 මූල්‍ය වර්ෂය තුළ ජල භාවිතාව 19% කින් අඩුකර ගැනීමට බ්‍රැන්ඩික්ස් සමූහය සමත් විය.

අනාගතයේදී මෙවැනි වැඩසටහන් වැඩි-වැඩියෙන් ක්‍රියාවට නංවමින් රටේ තිරසාරත්වයට දායක වීම සඳහා අනෙකුත් පුද්ගලයන් සහ ආයතනද දිරිගැන්වීම බ්‍රැන්ඩික්ස් සමූහයේ අපේක්ෂාව වී තිබේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව