පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේදීත් ශක්තිමත් බව සහ ක්‍රමෝපායික නම්‍යශීලීත්වය ඔස්සේ ස්ථාවර වර්ධනයක් අත්කරගනියි

Mr Pradeep Amirthanayagam (LBN Fill)

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, 2023/24 මූල්‍ය වර්ෂයේදී අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ක්‍රමෝපායික දූරදර්ශී බව මැනැවින් පිළිබිඹු කරමින් ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීමට සමත් වී සිටී. සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන 3,541 ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 3,018 ට සාපේක්ෂව 17.3% ක වර්ධනයකි. වසරේ දෙවැනි අර්ධයේදී කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කරගැනීමට සමාගමට හැකි වූ අතර, තුන්වැනි හා සිව්වැනි කාර්තු විශේෂයෙන් ඵලදායී විය. මෙම කාලසීමාව තුළ සමාගමේ ලාභදායීත්වය කැපීපෙනෙන ලෙස වර්ධනය වූ අතර, අදාළ කාලය තුළ රු. මිලියන 2,438 ක බදු-පසු ලාභයක් වාර්තා කිරීමට සමාගමට හැකියාව ලැබිණි.

 




 

පොලී අනුපාත අඩු වීම ඇතුළු සාධක ඔස්සේ අභියෝගකාරී වූ ව්‍යාපාරික පසුබිමක් තුළ, පොලී ආදායම පහළ යාම 4.5% කට සීමා කරගැනීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සමත් විය. මීට සමගාමීව, විශේෂයෙන්ම ණය නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ක්‍රමෝපායික විධිවිධාන සහ ණය අපහායන වෙන්කිරීම් ප්‍රතිවර්ධන ක්‍රියාමාර්ග හේතුවෙන්, ලාභදායීත්වය වර්ධනය කරගැනීමටද සමාගමට හැකියාව ලැබිණි. 2023/24 මූල්‍ය වර්ෂයේ ණය අපහායන වෙන්කිරීම් ප්‍රතිවර්ධන ක්‍රියාමාර්ගයන්හි වටිනාකම රු. මිලියන 1,156 ක් වූ අතර, එය ණය නැවත අයකරගැනීමේ සාමාන්‍ය අනුපාතය යහපත් මට්ටමක පවත්වා ගැනීමට දායක වී තිබේ.

මෙම ප්‍රතිඵල, නිරන්තරයෙන් වෙනස් වන ව්‍යාපාරික වාතාවරණයක් තුළ තිරසාර වර්ධනයක් අත්කර ගැනීම සඳහා සමාගම සතු හැකියාව මැනැවින් නිරූපණය කරයි. එමෙන්ම වෙනස් වූ කාලසීමාවන් දෙකක්, එනම් ඉල්ලුම පහළ යාම සහ දීර්ඝකාලීන ආර්ථික අර්බුද වැනි ගැටලු සහිත ප්‍රථම අර්ධයක් සහ ආර්ථික පුනර්ජීවනය සමගින් වඩාත් යහපත් ප්‍රවණතා පෙන්නුම් කළ දෙවැනි අර්ධයක් සහිත වූ වර්ෂයක් තුළ මෙම ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමාගම සමත් වී ඇති බව මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය.

මේ අතර, සමාගමේ සමස්ත නිකුත් කළ ණය සහ අයවිය යුතු මුදල් 3 වැනි කාර්තුවේ අවසානයට සාපේක්ෂව වර්ධනය වී ඇති අතර, එය 2024 මාර්තු 31 දින වනවිට රු. මිලියන 103,650 ක් ලෙස සටහන් විය. සමාගමේ වත්කම් පදනම ද 3 වැනි කාර්තුවට සාපේක්ෂව සුළු වර්ධනයක් වාර්තා කර තිබේ. ඒ අනුව සමාගමේ සමස්ත වත්කම් වටිනාකම 2024 මාර්තු 31 දින වනවිට රු. මිලියන 159,850 ක් විය.

කාර්යක්ෂම ලෙස ණය මුදල් නැවත අයකර ගැනීමේ ප්‍රයත්නයන් තුළින් ලැබුණු අතිරික්ත අරමුදල් භාවිතා කරමින් සමාගම සිය ආයෝජන ප්‍රතිලාභ වර්ධනය කරගැනීමට ක්‍රමෝපායිකව කටයුතු කරන ලදී. සමාගමේ ද්‍රවශීලතා තත්ත්වය සහ ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතය ශක්තිමත් මට්ටමක පැවති අතර, එය නියාමන අවශ්‍යතාවන්ට පැහැදිලි ලෙසම ඉහළින් පැවතිණි. මෙම සාධක සමාගමේ මූල්‍ය ස්ථාවරත්වයට සාක්ෂි දරයි.

“මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධයේදී සැලකිය යුතු මට්ටමේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුවත්, අපගේ ක්‍රමෝපායික වැඩසටහන් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය හේතුවෙන් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබුණා. මේ වනවිට අපගේ අයකර ගැනීමේ ක්‍රමෝපායන් වැඩිදියුණු කිරීම, වත්කම්වල ගුණාත්මකභාවය ප්‍රශස්තකරණය කිරීම සහ ශේෂ පත්‍රය ක්‍රමෝපායිකව සමබර කිරීම ආදිය සම්බන්ධයෙන් අප අවධානය යොමුකර තිබෙනවා. මෙලෙස ඉදිරියට යන අතරතුර, ආර්ථික පුනර්ජීවනයෙන් උපරිම ප්‍රයෝජන ලබමින්, අපගේ ගනුදෙනුකරුවන්ට, ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ මහජනතාවට ඉහළම වටිනාකම් තිළිණ කළ හැකි තත්ත්වයක අප සිටින බව අපගේ විශ්වාසයයි.” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී උදේශ් ගුණවර්ධන මහතා පැවසී ය.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව