ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙන් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය මැඩලීමේ වැඩසටහනක්

collage (4)

නොවැම්බර් 25 දිනට යෙදෙන, කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අඛණ්ඩව 5 වන වරටත් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජෝන් කීල්ස් පදනම කටයුතු කළේ ය. ‘නිහඩතාවය බිඳ දමමු ප්‍රචණ්ඩත්වයට තිත තබමු!’ යන තේමාව යටතේ පවත්වන ලද එම වැඩසටහනේ මූලික අරමුණ වූයේ,  ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම සඳහා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන්නන් සහ ප්‍රචණ්ඩත්වය දකින්නන් ඊට එරෙහි වීමට හා වාර්තා කිරීමට පෙළඹෙන පරිසරයක් නිර්මාණය වන ආකාරයට මහජනතාවගේ දැනුම හා ප්‍රතිචාර මට්ටම ඉහළ නැංවීමයි.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය යනු හුදෙක් පුද්ගලික හෝ පවුල් මට්ටමේ ගැටලුවක් පමණක් නොව සමස්ත සමාජයට බලපාන ගැටලුවක් බව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විශ්වාස කරයි. එය රැකියාවේදීත් බාහිර සමාජයේදීත් පුද්ගලයන්ට මෙන්ම රටේ ආර්ථික හා ඵලදායීතා වර්ධනයට සෘජු හා වක්‍ර බලපෑම් ඇතිකිරීම ඊට හේතුව වී ඇත.

මේ සම්බන්ධයෙන් බොහෝ නෛතික හා ප්‍රතිපත්තිමය රාමු මෙන්ම එම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සඳහා වන උපකාරක ආයතන හා සහයෝගය සපයන විධිවිධාන ඇති නමුත්, එය වැළැක්වීම සම්බන්ධ ක්‍රමවේදයන් හඳුනා ගැනීම හා ඒවා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ජෝන් කීල්ස් පදනම (John Keells Foundation) අවබෝධ කරගෙන සිටී. ජෝන් කීල්ස් සමූහය තුළ මෙන්ම බාහිර ඉලක්කගත ප්‍රජාවන් අතරත්, පොදුවේ මහජනතාව අතරත් ඒ සම්බන්ධයෙන් සංවේදීභාවය ඇතිකරමින් ශක්‍යතා වර්ධනය, දැනුවත් කිරීම් හා උපදෙස් සැපයීම් ඔස්සේ ඉහත සඳහන් ඉලක්ක ළඟා කරගැනීම එම පදනමේ අපේක්ෂාව වේ.

ඒ අනුව ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන එක් අංශයක් වන ‘සෞඛ්‍ය අංශය’ යටතේ 2014 වසරේදී WAVE (Working Against Violence through Education)  වැඩසටහන දියත් කරන ලදි. එමගින් වර්තමානය වන විට සමූහයේ සේවක සේවිකාවන් වෙනුවෙන් දැනුවත් කිරීමේ හා පුහුණු කරන්නන් පුහුණු කරවීමේ වැඩසටහන්ද, පොලිස් නිලධාරීන්, නීතීඥවරුන් හා පාසල් දරුවන් ආදීන් වෙනුවෙන් ඉලක්කගත සංවේදීකරණ හා ශක්‍යතා වර්ධන වැඩසටහන්ද, පොදු ප්‍රවාහන සේවා තුළ හා සමාජ මාධ්‍ය ආදිය ඔස්සේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාවට නංවා ඇති අතර මේ දක්වා 436,000 අධික පිරිසක් බලගැන්වීමට එම වැඩසටහන්  සමත් වී ඇත.

 




 

 

දැනට ලොව පුරා පැතිරී ඇති COVID-19 රෝගය නිසා ඇතිවී තිබෙන අවදානම සැලකිල්ලට ගනිමින්, මෙම වැඩසටහන රූපවාහිනී නාලිකා හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදී. මේ යටතේ ‘අද දෙරණ 24’ ඔස්සේ විකාශය වූ සාකච්ඡාමය වැඩසටහනට ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ පොලිස් කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ,  ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සම්බන්ධ පුහුණුකරු හා උපදේශක ඉන්දික දයාරත්න, සහ නීතීඥ සහ Women In Need (WIN) ආයතනයේ ව්‍යපෘති සම්බන්ධීකාරක නිරෝෂිකා වෑගිරිය යන මහත්ම මහත්මීන්  සහභාගී විය.

මෙම වැඩසටහන තුළදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ මූලික සංකල්ප, එහි බලපෑම හා ප්‍රතිවිපාක, නීතිරීති, සහය සේවා, ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු, සහ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම හා අවම කිරීම සම්බන්ධයෙන් බහු පාර්ශ්වික මැදිහත්වීමක අවශ්‍යතාව වැනි කරුණු සාකච්ඡා කෙරිණි. මීට අමතරව සති දෙකක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරුණු ඩිජිටල් තිර ආදිය ඔස්සේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලදි.

මෙම වැඩසටහනට සමගාමීව ජෝන් කීල්ස් සමූහයේ සේවක සේවිකාවන් වෙනුවෙන්ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ යටතේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හා ළමා අපයෝජන වැළැක්වීම සම්බන්ධ අන්තර්ක්‍රියාකාරී විද්‍යුත් ඉගෙනුම් මොඩියුලයක් හඳුන්වා දීම සිදුවිය. 2020 නොවැම්බර් 25 දින මෙම අන්තර් ක්‍රියාකාරී විද්‍යුත් මොඩියුලය හඳුන්වා දෙමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවසීය. “මේ විද්‍යුත්-මොඩියුලය නිර්මාණය කර ඇත්තේ WAVE ව්‍යාපෘතිය යටතේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හා ළමා අපයෝජනය සම්බන්ධයෙන් සිදුකරන දැනුවත් කිරීම් සඳහා අත්වැලක් වශයෙනුයි. එය ලිංගික හිංසන වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති යාන්ත්‍රණ ඇතුළුව, මෙම විෂයන් සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සතු ප්‍රතිපත්ති රාමුව පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට උපකාරී වේ. තමන් සහ තම පවුල් වල සාමාජික සාමාජිකාවන් මේ සම්බන්ධයෙන් සවිබල ගැන්වීමේ පියවරක් ලෙස, මේ කෙටි හා අන්තර් ක්‍රියාකාරී මොඩියුලය සම්පූර්ණ කරන මෙන් මම අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ආරාධනා කර සිටිමි.”

විද්‍යුත් ඉගෙනුම් මොඩියුලයක් දියත් කිරීමට පසුව කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වෙත සභාපතිතුමන්ගේ පණිවිඩය සන්නිවේදනය කරන ලද අතර, කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්යන්තර දිනය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුවී තිබිණි. “අප සියලුම දෙනා, වගකීම් සහගත පුරවැසියන් ලෙස, ලිංගික හිංසන ඇතුළුව සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් සහ පහත්කොට සැලකීම් වලින් තොර රැකියා පරිසරයක් හා සමාජයක්  නිර්මාණය කිරීම සඳහා කැපවීම අපගේ පෞද්ගලික හා සාමූහික වගකීම බවට පත්කරගත යුතුයි.” යනුවෙන් එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්විණි.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව