කොළඹ අහසෙහි කිරුළු පළඳින – AHASA ONE Sky Bridge – දකුණු ආසියානු කලාපයෙහි ඉදිකිරීම් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක්කරයි

Image-1

Sapphire Residences සහ ITC One හෝටල් සංකීර්ණය මීටර් 100ක් ඉහළ අහසේදී එකිනෙක සම්බන්ධ කරමින් AHASA ONE Sky Bridge ඉහළට එසවීමේ කටයුතු 2019 දෙසැම්බර් මස 15 වැනිදා සිදුකරන ලදී. කොළඹ නගර අලංකරණය සම්බන්ධයෙන් ගත් කළ සුවිශේෂී සංධිස්ථානයක් වන මෙය මීටර් 224ක් උස Sapphire Residences කුළුණ සහ මීටර් 140ක් උස ITC One හෝටල් සංකීර්ණ කුළුණ එහි 19 සිට 21 වැනි මහල දක්වා මහල්වලදී එකිනෙක යා කෙරෙනු ලබයි.

දකුණු ආසියානු කලාපය තුළ ඉදිකෙරෙන මෙවැනි ආකාරයේ ප්‍රථම ගොඩනැගිලි පරිශ්‍රය වන AHASA ONE උඩු මහලෙහි සාගරය දෙසට විවෘත විශාල නාන තටාක දෙකකින් සහ හිරු රැස් විඳින ස්ථානයකින් සමන්විත අතර ඇතුලත සුඛෝපභෝගී jazz lounge එකකින් සහ බාර් එකකින් සමන්විතය. Dual-panoramic දර්ශනයක් සහිත මෙම ගොඩනැගිලි පරිශ්‍රය ඉන්දියන් සාගරය, බේරේ වැව ආශ්‍රිත පරිසරයට සහ කොළඹ අගනුවරට නව අගයක් එක් කරනු ඇත.

මෙවැනි ආකාරයේ සුවිශේෂී ඉදිකිරීමකදී අසීරු අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවීම සාමාන්‍ය කරුණකි. කුළුණු ද්විත්වයෙහි මීටර් 100ක් ඉහළට වන්නට ටොන් 3,000ක බරක් සහිතව ඉදිවන මෙම ඉදිකිරීම මීටර් 55ක දිගින් යුක්තවීම නිසා එය ඉංජිනේරු තාක්ෂණයේ පුදුම සහගත නිර්මාණයක් වනු ඇත. ලොව ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන L&T හි අත්දැකීම් හා පළපුරුද්ද සමගින් WelcomHotels Lanka පුද්ගලික සමාගම මේ ව්‍යාපෘතියට හවුල්කාරීත්වය ලබාදී තිබේ.

“අප සමාගම විසින් ඉදිකිරීමට නියමිත තවත් එක් සුවිශේෂී ඉදිකිරීමක් වශයෙන් Skybridge හඳුන්වන්නට පුළුවන්. මෙවැනි ආකාරයේ ඉදිකිරීමක පූර්ව අත්දැකීමක් අප සතු නොවූ නිසා එය අපට ඉතාමත් භාරදූර අභියෝගයක් වූ බවත් කියන්න කැමතියි. මෙම ඉදිකිරීම මුදුනෙහි ඇති නාන තටාංග සහ ඊට පහළින් Sky Lounge නිසා මෙම ඉදිකිරීමෙහි සුවිශේෂීත්වය තවත් ඉහළ ගොස් තිබෙනවා. සැලසුම්, පිරිසැකසුම්, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් යන අංශයන්හි වසර 02ක සාමූහික ක්‍රියාවලියක අවසානයේ මෙම නිර්මාණය අපි නගරයට දායාද කරනවා. මෙම ඉදිකිරීම සඳහා සුවිශේෂී synchronized lifting පද්ධතීන් සහ fabrication ක්‍රමවේද මෙන්ම ‘top-down’ එකලස් කිරීමේ ක්‍රියාවලීන් භාවිතා කරතිබීමෙන් එහි අගය තවත් ඉහළ යනවා.” යනුවෙන් අදහස් දක්වා සිටියේ L&T ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධානී නටරාජන් නාමචිවායම් මහතාය.

ගාලුමුවදොර අභියස ඉදිවන Ahasa One Sky Bridge සමගින් එහි සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් වේගවත් වන අතර, ශ්‍රී ලංකාව සහ දකුණු ආසියානු කලාපයට අනන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණයන්ගෙන් යුත් සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ඉදිකිරීමක් වනු ඇති බව කීර්තිමත් වාස්තු විද්‍යාඥ දේශමාන්‍ය සුරත් වික්‍රමසිංහ මහතාගේ අදහසයි. “කොළඹ නගරයට මෙම Sky Bridge නිර්මාණය මගින් ඉතාමත් වැදගත් ආලෝකයක් ලැබෙන බව විශ්වාසයි. ඒ වගේම මේ රටේ ආර්ථික සහ සංස්කෘතික සංවර්ධනය පිළිබඳව ලෝකයට කියාපාන්නටත් මෙය හොඳ අවස්ථාවක්. කොළඹ නගරයේ අලංකරණය හා සංවර්ධනය වෙනුවෙන් සාම්ප්‍රදායික නිර්මාණාත්මක සීමා ඉක්මවා යමින් කටයුතු කරන්නට වාස්තු විද්‍යාඥයින් හා නිර්මාණකරුවන්ට මෙම ගොඩනැගිල්ල විශාල අනුබලයක් වනු ඇති බව මට විශ්වාසයි.” යනුවෙන්ද වික්‍රමසිංහ මහතා සිය අදහස් දක්වා සිටී.

“ඇත්තටම මෙය සුඛෝපභෝගීත්වය පිළිබඳ කතාවක් පමණක් නෙවෙයි. ‘සුඛෝපභෝගීත්වය සමග තිරසාරභාවය’ තේමා කරගනිමින් අපි මෙම ඉදිකරීමට බොහෝ අංග ඇතුලත් කර තිබෙනවා. තිරසාර හා පරිසර හිතකාමී ජීවිතයක් පාරිභෝගිකයාට ලබාදීමට කැපවීමෙන් කටයුතු කරන WelcomHotels Lanka සමාගම හරිත නේවාසික පරිසරයක් සහිත හෝටල් සංකීර්ණයක් කොළඹ නගරයට හිමිකර දීම වෙනුවෙන් කටයුතු කරනවා.” යනුවෙන් WelcomHotels Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අරුණ් පතාක් මහතා මේ පිළිබඳව සිය අදහස් දක්වා සිටී. ඒ වෙනුවෙන් මේ වන විටත් Sapphire Residences සමාගම වෙත ජාත්‍යන්තරව පිළිගත් LEED® BD+C (Core and Shell Development) පූර්ව සහතිකකරණ ශ්‍රේණිගත කිරීම් හිමිව තිබේ. මෙවැනි ආකාරයේ ඕනෑම ගොඩනැගිලි සංකීර්ණයකින් පරිසරයට ඇතිවිය හැකි බලපෑම් අතරින් ඉතාමත් අවම බලපෑමක් සහිත මෙම ගොඩනැගිල්ල තම අගය තවත් ඉහළ නංවාගෙන සිටී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව