කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුවල නව නිවාස 500කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට සැලසුම් – ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය

Image 4 (LBN)

 



 

 

කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක‍්‍රියාත්මක වැඩසටහන නව නිවාස 500කට වැඩි සංඛ්‍යාවක් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 19ක් (ECDs) නැවත ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 1කට ආසන්න මුදලක් වෙන් කරන බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) නිවේදනය කර ඇත.

කලාපීය වැවිලි සමාගම්, වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සහ ශ‍්‍රී ලංකා රජය යන අංශ තුන එක්ව සැදුම්ලත් වැවිලි මානව සංවර්ධන භාරයට (PHDT) අනුව ගාල්ල, රත්නපුරය, මහනුවර, හැටන් සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවල ජීවත් වන වතු සේවකයින් 500 කට සහ ඔවුන්ගේ පවුල්වලට ප‍්‍රතිලාභ සැලසෙන මෙම නිවාස ව්‍යාපෘතිය මාස හයකින් නිම කිරීමට අපේක්ෂා කෙරේ.

වතු සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වලට නිවාස 65,000කට අධික සංඛ්‍යාවක් සපයා දී තිබෙන අතර 1992 වසරේදී තේ කර්මාන්තය පුද්ගලීකරණය කිරීමෙන් පසු නිවාස 44,000ක් ඉදිකර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ ”අපගේ වතුවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පියවර ගැනීමට අපි කැපවී කටයුතු කරනවා. කොවිඞ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ මෙහි ඉදිකිරීම් කටයුතු මන්දගාමී අයුරින් සිදු වුවත් මෙම ව්‍යාපෘතිවල වැඩ කටයුතු ඉක්මනින් නැවත ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

මෙම සෑම නිවෙසක්ම පර්චස් 7ක ඉඩමක වර්ග අඩි 550ක භූමි ප‍්‍රදේශයක ඉදි කිරීමට නියමිත අතර කාමර දෙකකින්, සාලයකින්, මුළුතැන්ගෙයකින් සහ වැසිකිළියකින් සමන්විත වන අතර නල ජල පහසුකම් ද ඇත. ගෙවතු වගාව සඳහා භාවිතා කළ හැකි පරිදි කුඩා භූමි ප‍්‍රදේශයක් ද නිවෙස් වටා ඇත.

මේ අතර වතු කම්කරුවන් වැඩ කරන කාලය අතරතුර ඔවුන්ගේ දරුවන්ට ආරක්ෂාව සහ රැකවරණය සලසා දෙන ECD මධ්‍යස්ථාන 19ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 474ක් වැය කරනු ඇත. තේ වතුවල සේවය කරන මව්වරුන්ට තම දරුවා මාස පහක ලාබාල වියේදීම සුදුසුකම් ලත් ළමා සංවර්ධන නිලධාරියෙකු (CDO) විසින් පාලනය කරනු ලබන ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් (CDC) වෙත ඇතුළත් කිරීමේ පහසුකම් මේ යටතේ සලසා දී තිබේ.

වතුකරයේ දරුවන්ගේ ජීවිත නගා සිටුවීමේ අරමුණ සහිතව ළමා සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීම සහ අලූත්වැඩියා කිරීමේ කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතී. 2015 දී හඳුන්වා දුන් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස කලාපීය වැවිලි සමාගම්වල ආයෝජනය හා දැඩි උත්සාහය හමුවේ මධ්‍යස්ථාන 1400 ක් අලූතින් ඉදි කර සහ ප‍්‍රතිසංස්කරණය කර ඇත. වතුකරය පුරා ළමුන් 25,000ක් පමණ මෙම ව්‍යාපෘතියෙන් ප‍්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලියාපදිංචි කර ඇත.

”පසුගිය වසර 30 පුරාවට, වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා RPCs අඛණ්ඩව කටයුතු කර තිබෙනවා. මෙය ආයෝජනයක් ලෙස පමණක් නොව අපගේ වතුවල ජීවත් වන මිලියනයකට ආසන්න ජනතාවට සමාන අවස්ථා සලසා දීමක් ලෙස ද මෙය අප දකිනවා. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කළ අපගේ පරිත්‍යාගශීලීන්ට සහ පාර්ශවකරුවන්ට අප ඉතා ස්තූතිවන්ත වනවා. පරම්පරා ගණනාවක් තිස්සේ, අපගේ වතු කම්කරුවන් ශ‍්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත‍්‍රයේ උන්නතියට ඉමහත් දායකත්වයක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත්, දැනට පවතින ආර්ථික අර්බුදය තුළ වඩාත් අවදානමට ලක්විය හැකි ප‍්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා සියලූම පාර්ශවකරුවන් මේ අවස්ථාවේදී එකට එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්.’’ යනුවෙන් රාජදුරෙයි මහතා වැඩිදුරටත් පැවසුවේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව