කඳපොල පාර්ක් වතුයායේ ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය දැඩි ලෙස හෙලා දකියි

collage (13)
  •  මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජික හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්- රාමේශ්වරන්ට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක්.
  • මේ වන විට රෝහල්ගතව සිටින නවක සහකාර වතු අධිකාරීවරයාට සිදු කළ දරුණු ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකී.
  • මේ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් හා රාජ්‍ය දේපලවලට සිදු වූ හානිය හා ඒවා අලුත්වැඩියා කිරීම උදෙසා වන්දි ඉල්ලා සිටී.
  • කොවිඩ්-19 සොෟඛ්‍ය නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී රාමේශ්වරන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී.

2021 දෙසැම්බර් 17 වන දින කඳපොල පාර්ක් වතුයායේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේශ්වරන් විසින් සිදු කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව කලාපීය වැවිලි සමාගම් 21 (RPCs) විසින් ඒකමතිකව දැඩි ලෙස හෙලා දකින බව ප්‍රකාශ කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම දරුණු මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කොට කඩිනමින් සාධාරණය ඉටු කර දෙන මෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී. මෙහිදී ඇති වූ සිද්ධියෙන් නවක සහකාර වතු අධිකාරීවරයෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර එම පහරදීම් හේතුවෙන් ඔහු ශ්වසන අපහසුතාවන්ට ලක් වී ඇති බව වාර්තා වෙයි. අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් පහසුකම් සපයන ලද බස් රථ දෙකකින් පැමිණි පිටස්තර පුද්ගලයින් පිරිසක් මෙම ප්‍රහාරය සඳහා පැමිණ ඇතැයි වාර්තා වේ.

ඓතිහාසික වටිනාකමකින් යුතු රාජ්‍ය දේපලක් ලෙස සැලකෙන අදාල වතු කළමනාකරු සිටින බංගලාවට හා එම භූමියට සිදු වී ඇති හානිය කොතෙක් දැයි සොයා බැලීම සඳහා වැඩිදුර පරීක්ෂණයක් සිදු කරන ලෙස ද වැවිලිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය “පාර්ලිමේන්තු මන්ත්‍රී රාමේශ්වරන්ගේ ක්‍රියාකලාපය ශ්‍රී ලාංකික ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයෙකු ලෙස පමණක් නොව ඕනෑම පුරවැසියෙකු විසින් සිදු නොකළ යුතු ඉතා පිළිකුල් සහගත හා පිළිගත නොහැකි ක්‍රියාවක් ලෙස අප මෙහිදී සඳහන් කරන්න කැමතියි. මෙම දරුණු ප්‍රහාරය සිදු කළ වැරදිකරුවන් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා කඩිනම් පියවර ගෙන ඔවුන්ගේ මෙම අමානුෂීය හා නීති විරෝධි ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතියෙන් උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් පවසා සිටියේය.

2021 ජනවාරි 21 වන ඉරිදා සවස 5.30ට පමණ තමාට හදිසි හමුවීමක් අවශ්‍ය බව පවසමින් අදාල මන්ත්‍රීවරයා වතු අධිකාරීවරයාට ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව මෙම ප්‍රහාරය සිදුව ඇත. තමා මේ මොහොතේ නිවාඩු මත සිටින බවත් තම මාමණ්ඩියගේ පිළිකා ප්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ හැකි ඉක්මනින් මිලදී ගැනීම සඳහා මහනුවරට යමින් සිටින බවත් හමුවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් වතු අධිකාරීවරයා සන්සුන්ව හා ආචාරශීලීව පවසා ඇත.

එම පිළිතුරෙන් සෑහිමකට පත් නොවූ මන්ත්‍රීවරයා අදාල වතු අධිකාරීවරයාට ඉතාම පහත් වචනයෙන් බැන වැදී දුරකථනය විසන්ධි කර ඇත. පසුව රාමේශ්වරන් මන්ත්‍රීවරයා වතු සේවකයින්ගෙන් වතු අධිකාරීවරයාගේ බිරිඳගේ දුරකථන අංකය තමාට දෙන ලෙස බල කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නුසුදුසු ආකාරයේ අසභ්‍ය වචනයෙන් ඇයට ද දුරකථනයෙන් බැන වැදී ඇත. මෙම සිදුවීම සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු ඉදිරිපත්ව සිටී.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමේශ්වරන් ප්‍රාදේශීය සභා සභාපති යෝගරාජ් සමඟ පිටස්තර පුද්ගලයින් පුරවා ගත් බස් රථ දෙකකින් කෙලින්ම මෙම වතුයායට පැමිණ ඇත. සවස 5.30ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමේශ්වරන් සමඟ ප්‍රාදේශීය සභා සභාපති යෝගරාජ් බලහත්කාරයෙන් හා නීති විරෝධි අන්දමින් මැර පිරිස සමඟ මෙම බංගලාවට ඇතුළු වී තිබේ.

 




 

 

කඳපොල පාර්ක් වතුයායේ ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය දැඩි ලෙස හෙලා දකියි

මේ අවස්ථාවේදී නවක සහාකාර වතු අධිකාරීවරයා එහි සිට ඇති අතර හදිසියේ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට ඔහු උත්සාහ කිරීමේදී රාමේශ්වරන් මන්ත්‍රීවරයාගේ මෙහෙය වීමෙන් මැරවරයින් ඔහුට ඉතා දරුණු ලෙස පහර දී ඇත. පසුව එම පරිශ්‍රයට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිට වීමට මන්ත්‍රීවරයා සහ ඔහුගේ මැරයින් ඉඩ ලබා දී නැත. ඒ අවස්ථාවේදී අවම වශයෙන් පැය පහක කාලයක්වත් කිසිඳු වෛද්‍ය ප්‍රතිකාරයක් හෝ සහායක් නොලබා බරපතල තුවාල ලබා සිටි වතු අධිකාරීවරයා මැරවරයින් විසින් නීති විරෝධි ලෙස එහි රඳවා ගෙන සිට ඇති බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ප්‍රාදේශීය පොලීසියේ මැදිහත් වීමෙන් පසු අදාල භූමියෙන් වතු අධිකාරීවරයාව මුදවා ගත් අතර වහාම ඔහුව නුවරඑළිය මූලික රෝහලට ඇතුලත් කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමේශ්වරන් විසින් මෙහෙයවන ලද මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් සහකාර වතු අධිකාරීවරයාගේ ශරීරයේ ඇති වී තිබෙන දරුණු තැලීම් හා තුවාලවලින් ඔහු තවමත් සුවය ලබමින් සිටින අතර ශ්වසන අපහසුතාවයකින් මේ වන විට පීඩා විඳිමින් සිටී.

මේ අතර මන්ත්‍රී රාමේශ්වරන් ඇතුළු මැර කල්ලිය එම භූමිය තුළ පැය 24කට වැඩි කාලයක් අනවසරයෙන් රැඳී සිට ඇත. ටයර් පුළුස්සමින්, ගොඩනැගිලිවලට හානි කරමින් ප්‍රචණ්කාරී ලෙස හැසිරුණු ඔවුන් එම වතුයායේ හා අවට වතුයායන් හි සිටින වතු කම්කරුවන්ට වැඩ වර්ජනය කිරීමට ද බල කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස කම්කරුවන්ට වැටුප් හා වතු සමාගම්වලට ආදායම අහිමි වී ඇත.

“වතු කම්කරු ප්‍රජාවගේ ජීවනෝපායන් ආරක්ෂා වන අයුරින් වතු කළමනාකරණය කිරීමෙන් තේ කර්මාන්තය හා ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමට කලාපීය වැවිලි සමාගම් (RPC) හැකි සෑම උත්සාහයක්ම ගන්නා මොහොතක මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා අපගේ බොහෝ ප්‍රයත්නයන් ව්‍යාර්ථ වී ඇති අතර අවසානයේදී කම්කරුවන් එයින් වඩාත් පීඩාවට පත් වනු ඇත.”

“මෙය හුදෙක් මුදල් අරමුණු කොට ගෙන ඇති වූ සිදුවීමක්. නමුත් වත්මන් ගෝලීය වසංගත තත්වය තුළ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අමන ක්‍රියාකලාපය නිසා ඔහු නියෝජනය කරන ජනතාව අතර කොවිඩ්-19 පැතිර යාමේ දැඩි අවදානමක් ද ඇති වී තිබෙනවා. මෙවැනි අවදානම්වලින් වතු ප්‍රජාව ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම RPC ගෙන තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමේශ්වරන්ගේ හැසීරීම තුළින් ඔවුන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වීමට ඉඩ තිබෙනවා. මෙය කිසිසේත් අනුමත කළ නොහැකි අතර ඔහුට නීති කඩ කිරීමට ඉඩ දිය නොහැකියි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම ඔහු සඳහා නීතිය ක්‍රියාත්මක වීමට බාධාවක් නොවනු ඇති බව අප විශ්වාස කරනවා.” යනුවෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව