‘ඔබේ අනාගතයේ දොරගුළු හරින්න’ නමින් Sri Lanka Skills Expo 2024 දියත් කරයි

Photo 02 (LBN)

— ශ්‍රී ලංකා නිපුණතා එක්ස්පෝ ප්‍රදර්ශනයේ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන 2024 ජූලි මස 24 දින කොළඹ නෙළුම්පොකුණ  lotus lounge පරිශ්‍රයේ දී දියත් කෙරිණි —

ශ්‍රී ලාංකීය තරුණ පරපුරට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ජයග්‍රාහී ගමනක් යාමට අවස්ථා රාශියක් උදා කරමින්, කර්මාන්ත අංශයේ නිපුණතා කවුන්සිලය (ISSCs) Skills Expo 2024 සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි. අඛණ්ඩව දෙවන වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මූලිකත්වය ගනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යි. ශ්‍රී ලංකා නිපුණතා එක්ස්පෝ 2024 (Sri Lanka Skills Expo 2024)  ප්‍රදර්ශනයේ එළිදැක්වීමේ මාධ්‍ය සාකච්ඡාව ඉකුත් 24 වන දින කොළඹ නෙළුම්පොකුණ lotus lounge පරිශ්‍රයේ දී පවත්වන ලදී. එම අවස්ථාව සදහා අධ්‍යාපන අමාත්‍ය ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හිමාලි අතාවුදගේ, මෝටර් රථ කර්මාන්ත කවුන්සිලයේ (AIC) සභාපති රවිත් සිල්වා මෙන්ම සංචාරක කර්මාන්ත කවුල්සිලයේ සභාපති සනත් උක්වත්ත ඇතුළු සම්භාවනීය පිරිසක් මේ සදහා සහභාගී විය. මෙවර Skills Expo 2024 හි තේමාව වනුයේ “ඔබේ අනාගතයේ දොරගුළු හරින්න” යන්නයි.

 



 

මෙහිදී ශ්‍රී ලංකා නිපුණතා එක්ස්පෝ හි සභාපති රවිත් සිල්වා අදහස් ප්‍රකාශ කර සිටියේ “ගෝලීය වෘත්තීය වෙළඳපොල මේ වනවිටත් අද්විතීය වෙනසක් අත්විඳිමින් සිටී. එහිදී සමාගම් සහ සංවිධාන රැකියා පුරප්පාඩු සදහා බඳවා ගන්නන් සෙවීමේ දී අද්විතීය කුසලතා ඔවුන් තුළින් බලාපොරොත්තු වේ. වර්තමානය වන විට ලෝකය තුළ සාම්ප්‍රදායික වෘත්තීය විකල්පයන් වැඩිදියුණු කිරීම තුළින්, උද්යෝගිමත් නව කුසලතා මත පදනම් වූ රැකියා භූමිකාවන් නිර්මාණය කිරීම සඳහා මාර්ග විවර කිරීමට අවධානය යොමු කර තිබේ. ආසියාවේ වෘත්තීය කුසලතා අධ්‍යනයෙන් පසුව, නව රැකියා ඉල්ලුම් හදුනාගනිමින් ඊට අවශ්‍ය කුසලතා පසුබිම සකසා ගැනීම සදහා මගපෙන්වීමට Skills Expo 2024 දියත් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දියත් කරනු ලබන මෙරට ප්‍රමුඛතම නිපුණතා පාදක ප්‍රදර්ශනය සදහා නායකත්වය දීමට හැකිවීම ඇත්තෙන්ම අපට භාග්‍යයක්’’.

ප්‍රදර්ශනය 2024 සැප්තැම්බර් 10, 11 සහ 12 යන තෙදින පුරා නෙළුම් පොකුණ සහ ග්‍රීන් පාත් යන ස්ථානවල දියත් කිරීමට සැලසුම් කර ඇත. “මෙම ප්‍රදර්ශනය මූලික වශයෙන් සැලසුම් කර ඇත්තේ දිවයින පුරා සිටින සිසුන් සඳහා වෘත්තීය සහ රැකියා අවස්ථා ප්‍රදර්ශනය කිරීමට” යැයි සංචාරක කර්මාන්ත අංශ සභාවේ සභාපති සනත් උක්වත්ත එළිදැක්වීමේ උත්සවයේදී පැවසීය.

2023 වර්ෂයේ BMICH හි පැවති ප්‍රදර්ශනයට දහස් ගණනක් පැමිණ සිටින ලදී. පසුගිය වසරේ ප්‍රදර්ශනය නැරඹීම සඳහා සිසුන් 3000කට අධික පිරිසකට ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර, මෙම වසරේ ද එම පහසුකම ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් පවතී.

මූලික වශයෙන් ශ්‍රි ලංකා නිපුණතා එක්ස්පෝ 2024 මගින් ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා කවුන්සලය (CISC), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත කුසලතා කවුන්සිලය ( ICTISE), නිෂ්පාදන සහ ඉංජිනේරු කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය කරන ISSC හරහා නව සහ නැගී එන තාක්ෂණික ක්‍රම ප්‍රදර්ශනය කිරීමට උත්සාහ දරා ඇත. සංචාරක කර්මාන්ත නිපුණතා කවුන්සිලය (TISC) සහ කෘෂිකර්ම අංශයේ නිපුණතා කවුන්සිලය (ASSC) පවතින කාර්මික පුහුණු අංශ තුළ පවතින රැකියා පුරප්පාඩු වලට අදාළ දත්ත හුවමාරු කර ගැනීමටත් රැකියා අපේක්ෂකයින් අයදුම් කිරීමට අවස්ථා සැළසීමත් මෙහි දී සිදු වේ. මෙහිදී වර්තමාන රැකියා ප්‍රවණතා සහ ලබා ගත හැකි වෘත්තීය මාර්ග පිළිබඳව පුද්ගලයන් දැනුවත් කිරීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ගණනාවක් සිදුකරනු ලබයි. රැකියා අපේක්ෂකයින්ට අදාල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සේවා යෝජකයන් හමුවීමට, මෙම අංශවල ඇති විවිධ අවස්ථා පිළිබඳව ඉගෙන ගැනීමට විශිෂ්ඨ වේදිකාවක් වනු ඇත.

Skills Expo 2024 පිළිබඳ වැඩි විස්තර සඳහා 077 776 6867 අමතන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව