එලිෆන්ට් හවුස් සහ Zerotrash, Platiccycle සමග අත්වැල් බැඳගනිමින් ප්ලාස්ටික් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් අරඹයි

EH Image

 




 

 

එලිෆන්ට් හවුස් සහ Zerotrash මෙන්ම ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියවන Plasticcycle එක්ව, “Zerotrash ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක්” පසුගියදා විවෘත කළේය. දිවයින පුරා ප්‍රතිචක්‍රීයකරණය සහ යහපත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

බොරලැස්ගමුවේ පිහිටි මෙම නවත ම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය, භාවිතකර ඉවත දමන ලද ප්ලාස්ටික් එක්රැස් කිරීමේ පරිශ්‍රවලින් එක්රැස් කිරීම සඳහා ම වෙන්වූ ප්‍රවාහන සහ සේවා කාර්යමණ්ඩල සාමාජික පිරිසකගෙන් සමන්විතය. ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් ලබා ගැනීම සඳහා මහජනතාවට දිනයක් සහ වෙලාවක් වෙන්කළ හැකි අන්තර්ජාල සේවාවක් ද මෙම මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක වේ. ඊට අමතරව, ප්ලාස්ටික් එක්රැස් කිරීමේ පරිශ්‍රය වෙත ගොස් ඕනෑම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍යයක් බැහැර කිරීමේ අවස්ථාව ද මහජනතාවට හිමිකර දී තිබේ. මේවන විට මෙම සේවාව කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකවන අතර ඉදිරියේදී එය බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක පුරා ද ව්‍යාප්ත කිරීමට අපේක්ෂිතය.

මෙම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම පිළිබඳ අදහස් පළ කරමින් ජෝන් කීල්ස් සමූහයේ පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා සඳහන් කළේ, “වර්තමානයේ සමාජයටත්, පරිසරයටත් ප්‍රතිලාභ හිමිකර දිය හැකි තිරසර ව්‍යාපෘති කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු වනවා. මෙම ව්‍යාපෘතිය හරහා, දීර්ඝ කාලයක පටන් ගැටලුවක් බවට පත්ව තිබූ කරුණක් සඳහා සාධනීය විසඳුමක් ලබා දෙන අතරම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ යහපත් ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම ද අපගේ අරමුණයි. ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ සමග Plasticcycle හරහා අප පාරිභෝගිකයින් වෙනුවෙන් අගනා සේවාවක් පිරිනමමින් ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා දායක වීමට අපේක්ෂා කරනවා,” යනුවෙනි.

“සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ අරමුදලින් Plasticcycle ව්‍යාපෘතියේ සහයෝගයෙන් යුතුව හඳුන්වා දී ඇති Zerotrash ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහාවන අපගේ සාමූහික දැක්ම වෙත ප්‍රධාන පාර්ශ්වකරුවන් සම්බන්ධකර ගැනීමට අප ගත් උත්සාහයක ප්‍රතිඵලයක්. ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කරන්නන් චක්‍රීය ආර්ථිකයක ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන අතර ඔවුන්ගේ යටිතල පහසුකම්, ධාරිතාව සහ වපසරිය පුළුල්කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබා දීම වැදගත් වනවා,” යනුවෙන් ජෝන් කීල්ස් සමූහයේ විධායක උප සභාපති, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ ආයතන මුල්‍ය, සමූහ බදු සහ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘති ප්‍රධානී නිස්රීන් රේමන්ජි මහතා ප්‍රකාශ කළේය.

Zerotrash ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හසංක පාදුක්ක මහතා ද මෙම මධ්‍යස්ථානය පිළිබඳ සිය අදහස් පළ කළේය. “ස්වයංපෝෂිත ව්‍යාපාරික මොඩලයක් සමගින් අපද්‍රව්‍ය එක්රැස් කිරීමට, වාර්තා කිරීමට, ප්‍රතිලාභ ලබා දීමට සහ ප්‍රතිචක්‍රීයකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික විසඳුම් ගොඩනැගීම අපගේ අරමුණයි. ගෘහස්ථ මෙන්ම ආයතනික වශයෙන් ද අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීමට මෙන්ම චක්‍රීය ආර්ථික සංකල්පවලට සහයෝගය ලබා දීමට අප කටයුතු කරනවා. තවද අප රජයේ පුළුල් නිෂ්පාදන වගකීම් (EPR) නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ද සහයෝගය ලබා දෙනවා. තමන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙන්ම වෙනත් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය එක්රැස්කර අපගේ ZeroTrash එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙතට බාර දීමට හෝ www.zerotrash.lk හරහා එම අපද්‍රව්‍ය බාර දීමට හැකි දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට හෝ කටයුතු කරන ලෙස අප මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉතා කුඩා පියවරකින්, මෙරට උද්ගතව ඇති බරපතළ ම ගැටලුවක්වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට විශාල ධනාත්මක බලපෑමක් ඇතිකළ හැකි බව අපගේ විශ්වාසයයි.”

වසර 150 කට අධික ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන එලිෆන්ට් හවුස් සන්නාමය ශක්තිමත් සන්නාම ඇගයුමකට සහ ජනතා විශ්වාසය සමගින් පාරිභෝගිකයාගේ නොමඳ ආදරයට පාත්‍ර වූ සන්නාමයකි. එම නොසැලුණු ආදරය සහ විශ්වාසය නිසාම තම නිෂ්පාදන තවදුරටත් පුළුල් කිරීමට එලිෆන්ට් හවුස් සන්නාමයට හැකි වී ඇත. තම ව්‍යාපාරික ක්‍රමවේද වැඩිදියුණු කර ගැනීමටත්, පාරිසරික සහ ප්‍රජා යහ පැවැත්ම ආරක්ෂාකර මතු පරපුරට දායාද කිරීම සඳහා එම සමාගම විවිධ වැඩසටහන් රැසක් දියත්කර ඇත.

‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ යනු සමාජ යහ පැවැත්ම ඉලක්කකර ගනිමින් එලිෆන්ට් හවුස් සමාගම සියලු වැඩසටහන් දියත්කරන ප්‍රජා සත්කාරක සන්නාමයයි. අපද්‍රව්‍ය කළමනාකරණය මෙන්ම ප්‍රජා සහ තිරසාරත්වය යන හර පද්ධති එක්ව ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ ගොඩනැගී ඇත. ජෝන් කීල්ස් පදනම සහ Plasticcycle සමග අත්වැල් බැඳගනිමින් ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ කණ්ඩායම ප්‍රජා මූලික සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති දියත් කිරීමට කටයුතු කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව