උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

IMG-20250729-WA0037 (LBN)

මෙරට බැඩ්මින්ටන් පිටියේ ඉහළ තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විවිධ කාණ්ඩ යටතේ තරග වදින උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන අගෝස්තු මස 18 වැනිදා සිට 24 දක්වා අනුරාධපුරයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ.

ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ඨ අංශය, අවුරුදු 30න් ඉහළ සිට අවුරුදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ අංශය, වයස් කාණ්ඩ 3ක් යටතේ අවුරුදු 100ට වැඩි ඒකාබද්ධ අංශය සමඟ වැඩි ආකර්ශනය දිනා ගත් කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් විවෘත අංශය ඇතුළත්ය. මීට අමතරව විවෘත අංශයේ ඒකල තරගයේ පරාජිතයන් වෙනුවෙන් පළඟ ශූරතා තරග අංශයක් ද ඇතුළත් වෙයි.
 



 

උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ සමාරම්භක උත්සවය අගෝස්තු මස 18 වැනිදා පෙරවරු 9.00ට පැවැත්වෙන අතර, අනතුරුව ආරම්භ වන මූලික තරග වටය අගෝස්තු 22 දිනයට නියමිත අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව වටය දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියේ වඩාත් උණුසුම් සහ තරගකාරීත්වයෙන් යුතු අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරග අගෝස්තු 23 සහ 24 වැනිදා පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සමාප්ති උත්සවය එදින පස්වරුවේ පැවැත්වෙනු ඇත.

අගෝස්තු 11 වැනිදා වනවිට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙම තරගාවලියේ තරග පෙළ ගැස්ම අගෝස්තු මස 13 වැනිදා කොළඹ 7, මෙට්ලන්ඩ් පෙදෙසේ අංක 28 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මූලස්ථානයේදී  සිදු කෙරේ. තරගාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම අගෝස්තු මස 8 වැනිදා මධ්‍යහ්න කාලයෙන් නිමාවට පත්වන අතර, ඒ සඳහා අයැදුම්පත් අන්තර්ජාලය ඔස්සේ හෝ 0773011800 දුරකතන අංකයෙන් අජිත් විජයසිංහ මහතා හෝ 0740121846 දුරකතන අංකයෙන් හිමාෂා මෙනෙවිය සම්බන්ධ කර ගනිමින් යොමු කළ හැකිය.

උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, සෑම තරග ඉසව්වකම ජයග්‍රාහකයන්ට,අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන,පදක්කම් සහ සහතිකපත් පිරිනැමේ. තරගාවලියේ සංවිධායක කමිටුවේ තීරණයකට අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වෙනත් වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය පිළිබඳ සියලු තොරතුරු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වෙබ් අඩවියේ පළ කර තිබේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව