ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට හසරංග මලිත් සූරියආරච්චි සමත් විය. විවෘත කාන්තා ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ සිතුලී සත්නදී රණසිංහ විසිනි. පසුගියදා කිලිනොච්චියේ උතුරු පළාත් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව අලාන් දර්මස්පුට් ක්‍රිස්ටන්ටෝ සහ මර්සිලෝ විටාරියෝ දිනා ගත් අතර, විවෘත කාන්තා යුගල ශූරතාව ඉරුෂි අමන්දි හේවාගාල්ලගේ සහ සඳති දෙව්මිණි හේවාගාල්ලගේ දිනා ගත්හ. විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ අලාන් දර්මස්පුට් ක්‍රිස්ටන්ටෝ සහ රේණු චන්ද්‍රිකා ද සිල්වා විසිනි.
ජාතික ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැති උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අවුරුදු 19න් පහළ බාලක ශූරතාව දිනා ගනු ලැබුවේ විවෘත පිරිමි ඒකල ශූරතාවට හිමිකම් කී හසරංග මලිත් සූරියආරච්චි විසිනි. විවෘත කාන්තා යුගල ශූරතාවට හිමිකම් කී සඳති දෙව්මිණි හේවාගාල්ලගේ අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනා ගත්තාය.
විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ට හා පළඟ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැති මෙම තරගාවලියේ කනිෂ්ට තරග කාණ්ඩයට අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ බාලක ඒකල හා යුගල සහ බාලිකා ඒකල සහ යුගල තරග ඉසව් ඇතුළත් වූ අතර, ජ්‍යෙෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ සහ අවුරුදු 70න් ඉහළ පිරිමි ඒකල හා යුගල, කාන්තා ඒකල හා යුගල සමඟ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් විය.
උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය Mcfoil, Mobil, 3M, GAC සහ Li-Ning අනුග්‍රාහකත්වයෙන් යුතුව පැවැත්විණි.