ඉහළ කාර්ය සාධනයෙන් යුක්ත SUV රථ සඳහා සඳහා අඟල් 17 ටයරයක් දේශීයව නිෂ්පාදනය කරමින් සියැට් නව පිම්මක් පනී

SECURA DRIVE SUV

 



 

 

 

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම සිය රේඩියල් ටයර් නිෂ්පාදනය නව මානයකට රැගෙන යමින් හොන්ඩා වෙසල් වැනි SUV රථ සඳහා ගැලපෙන අඟල් 17 ප‍්‍රමාණයේ ඉහළ කාර්යසාධනයෙන් යුක්ත රේඩියල් ටයර් මාලාවේ පළමු වන රේඩියල් ටයරය එළිදක්වා ඇත.

දේශීය තත්ත්වයන්ට ගැලපෙන පරිදි කැළණියේ පිහිටි සියැට් කැළණි නිෂ්පාදන සංකීර්ණය තුළ සැලසුම්කර නිෂ්පාදනය කරන සියැට් Secura Drive SUV 215/55 R17 ටයරය ශ‍්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ටයර් සන්නාමයේ අගය තවත් වර්ධනය කිරීමට හේතු වී ඇත. මීට අමතරව, විදේශ විනිමය ඉතිරිකර ගනිමින් ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සන්නාම වලට නොදෙවෙනි දේශීය නිෂ්පාදන සිදුකිරීමේ ජාතික මෙහෙයුම සඳහාද මෙම නව නිෂ්පාදනය තුළින් සියැට් කැළණි සහයෝගය ලබාදී තිබීම කැපී පෙනේ.

ශක්තිමත්ව පොලොව බදාගැනීම, නිවැරදි අයුරින් සුක්කානම පාලනය කිරීමට හැකිවීම, තෙත පොලොවකදී ආරක්ෂාකාරී ලෙස ධාවනය කළ හැකිවීම, ධාවනයේදී සුවපහසුව වර්ධනය කිරීම යන ගුණාංග මතුවන අයුරින් නිර්මාණය කර තිබෙන මෙම නව ටයරය සියැට් විසින් ශ‍්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන පළමු අඟල් 17 ටයරය බව සමාගම සඳහන් කරයි. මෙම ටයරය සියැට් විසින් 2017 වසරේදී දේශීය වෙළෙඳපොළට හඳුන්වා දුන් ඉන්දියාවේ නිෂ්පාදිත අඟල් 17 ටයරය සමග සසඳමින් නිෂ්පාදනය කරන බව සමාගම පවසයි.

‘දේශීය තත්ත්වයන් සහ රියදුරන්ගේ අපේක්ෂාවන් පිළිබඳව දශක දෙකක දැනුම සහ සියැට් ඉන්දියා සමාගම සතුවන දැවැන්ත තාක්ෂණික විශේෂඥතාවය මෙම නව රේඩියල් ටයරය නිෂ්පාදනයේදී යොදා ගන්නවා. SUV රථ සහ විශාල යුරෝපීය මෙන්ම ජපන් මෝටර් රථ සඳහා අපි දේශීයව නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන නව රේඩියල් ටයර් මාදිලි සහ ප‍්‍රමාණ පෙළේ පළමුවැන්න මෙම ටයරයයි.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය. ‘මෙසේ ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු කිරීම් වලට සහ ටයර් නිෂ්පාදනයන් පුළුල් කිරීමට අප විසින් සිදුකරන ආයෝජනයන් මගින් වෙළෙඳපොළේ අවශ්‍යතාවය සපිරීමට හැකිවීම අපගේ කර්මාන්තය පිළිබඳව අප සතු කැපවීම පෙන්නුම් කරනවා.’

සමාගම සඳහන් කරන්නේ CEAT Secura Drive SUV නව රේඩියල් ටයරය දේශීය තත්ත්වයන්ට ගැලපෙන අතරම ඉහළ ගුණාත්මකභාවය සහ උපරිම කාර්යසාධනය ලබාදීමට අවශ්‍ය නවතම තාක්ෂණයන් යොදා නිෂ්පාදනය කර තිබෙන බවයි.

ශ‍්‍රී ලංකාවේ වායුරෝධක ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ නිපදවන සියැට් කැළණි සමාගම මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සැලකේ. මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර ටයර් නිෂ්පාදනය පුළුල් කිරීමට, තාක්ෂණය වැඩිදියුණු කිරීමට, නව නිෂ්පාදන සංවර්ධනයට සමාගම විසින් 2022 වසරේදී තවත් රුපියල් බිලියන 3.2 ක මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන් සහ SUV වාහන සඳහා රේඩියල් ටයර් මෙන්ම වාණිජ අංශයේ (නයිලෝන් සහ රේඩියල්) ටයර් සහ යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව