ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිවුණු රිජිඞ් ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම (Rigid Tyre Corporation (Pvt) Ltd) 2021 ජනවාරි මාසයේදී විවෘත වීමට නියමිතව තිබේ

Image#2 - Rigid Tyres Factory nearing completion
ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයකින් ඇරඹෙන ටයර් කම්හලෙන් මෙරට අපනයන නැංවීමට දැවැන්ත අත්වැලක් රැකියා 3,000 ක් නිර්මාණය කරමින් එළඹෙන ජනවාරි මාසයේ මෙහෙයුම් ඇරඹේ
ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිවුණු රිජිඞ් ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම (Rigid Tyre Corporation (Pvt) Ltd) 2021 ජනවාරි මාසයේදී විවෘත වීමට නියමිතව තිබේ. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය සතියේදී මෙම කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
 
ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වියදමකින් සිදුකෙරෙන එහි ප්‍රථම අදියරේ ඉදිකිරීම් මේ වනවිට සම්පූර්ණ වී ඇති අතර දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු 2022 මාර්තු මාසය වනවිට අවසන් වීමට නියමිත වේ.

පූර්ණ හා අතිනවීන තාක්ෂණය හා පහසුකම් සහිත මෙම කර්මාන්තශාලාව මෙරට එම වර්ගයේ ප්‍රථම හා එකම කර්මාන්ත ශාලාව ලෙස සැලකෙන අතර, දේශීය කාර්මික කුසලතාවන් සහ දියුණු යුරෝපීය තාක්ෂණයන් එක්තැන් කරමින් එය අග්නිදිග ආසියාවේ එම වර්ගයේ විශාලතම කර්මාන්ත ශාලාව බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  මෙම කර්මාන්ත ශාලාව තුළ SUV රථ සඳහා විශේෂ වූ ටයර් ඇතුළුව  මගී මෝටර් රථ සඳහා වන ටයර්ද, මෝටර්සයිකල් ත්‍රිරෝද රථ, ට්‍රක් රථ හා බස් රථ සඳහා වන ටයර්ද, බර වාහන ටයර්ද (Solid Tyres) නිෂ්පාදනය කිරීමට නියමිත ය.  

 
පුළුල් නිෂ්පාදන ධාරිතාවක් සහිත, අපනයනය ඉලක්ක කරගත් මෙම කර්මාන්තශාලාව රටේ අපනයන ක්ෂේත්‍රය පුළුල් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වනු ඇත. ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ දේශීය විනිමය ශක්තිමත් කිරීම සඳහා රජය දරන උත්සාහයට එය මනා ශක්තියක්ද වනු නිසැක ය. එමෙන්ම ලබන ජනවාරි මාසයේදී එහි මෙහෙයුම් කටයුතු පූර්ණ වශයෙන් ආරම්භ වූ විට එමගින් සෘජු හා වක්‍ර රැකියා හා ජීවනෝපාය අවස්ථා දහස් ගණනක් නිර්මාණය වනු ඇත. 

 



 
 




රිජිඞ් ටයර් කෝපරේෂන් හි විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ධම්මික ලොකුවිතාන මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේ ය. “රිජිඞ් ටයර් යනු පසුගිය වසර 10 ක කාලය මෙරට තුළ සිදුවුණු විශාලතම සෘජු විදේශ ආයෝජනයයි. එමෙන්ම නිෂ්පාදන කටයුතු ආරම්භ වූ විට එය රටේ ප්‍රමුඛතම අපනයන සමාගමක් බවට පත්වේවි. පසුගිය කාලය තුළ ඇතිවූ විවිධ අර්බුද නිසා බලපෑමට ලක්වී තිබෙන අපනයන ක්ෂේත්‍රය නගාසිටුවීමට අමතරව මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවට අතීතයේ ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරදුන් දේශීය රබර් කර්මාන්තය නැවත පණගැන්වීමටත් විශාල දායකත්වයක් ලබාදේවි.”
 
“දේශීය රබර් වගාකරුවන් සවිබල ගන්වමින් අපට අවශ්‍ය සියලුම රබර් දේශීයව සපයා ගැනීමටත්, නව රැකියා අවස්ථා දහස් ගණනක් නිර්මාණය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම, මෙහිදී තවත් අතිශයින් වැදගත් කරුණක් වන්නේ ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාව හා පරිසර හිතකාමීත්වය වැනි සාධක අතින් ගත්විට වෙළඳපොළේ ඉදිරියෙන්ම සිටින යුරෝපීය තාක්ෂණය භාවිතයට ගැනීමට අපට අවස්ථාව ලැබීමයි.”ධම්මික ලොකුවිතාන මහතා පැවසී ය. 

රිජිඞ් ටයර් සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පෙන්වා දුන්නේ, මෙතරම් විශාල ආයෝජනයක් සිදුවීම මගින් වෙනත් ආයෝජකයන් තුළද විශ්වාසය ගොඩනැංවී ඔවුන් රට තුළ ආයෝජනයන් සිදුකිරීමට පෙළඹෙනු ඇති බවයි. “මෙවැනි ආයෝජන ඉතා හොඳ පූර්වාදර්ශයක් වෙමින්, ශ්‍රී ලංකාව ආයෝජනයට හිතකර රටක්ය යන මතය ලොව තුළ ප්‍රචලිත කිරීමට උපකාරී වේවි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය, අනාගතයේදී ශ්‍රී ලංකාව කාර්මික කේන්ද්‍රයක් බවට බවට පත්කිරීම සම්බන්ධයෙන් රජය සතු දැක්මට සමගාමී වන ව්‍යාපෘතියක් බවත් කියන්නට පුළුවන්.” ඒ මහතා අවධාරණය කළේ ය. 

ව්‍යාපාරික ලොවේ ප්‍රමුඛයෙකු වන නන්දන ලොකුවිතාන මහතා සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගමේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජධානියේ ඔනික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියාද වන අතර, වානේ සැකසුම් සමාගමක් ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු සමාගම් එකතුවක් එම සමූහ ව්‍යාපාරය යටතේ පවතී. ඔහුගේ අනෙකුත් ආයෝජන අතරට ඩුබායි හි පිහිටි මැරියට් අල් ජඩාෆ් හෝටලය මෙන්ම හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ඉදිවන, 2021 මැයි මාසයේ ආරම්භ වීමට නියමිත අතිනවීන සිමෙන්ති ඇඹරුම් කම්හලක්ද, Marangoni Industrial Tyres Lanka  සමාගමද ඇතුළත් වේ.



 



 
 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව