ඇට්ලස් සිප්සවි රිදී විහාර ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ 19 වැනි වරටත් ආර්ථික දුෂ්කරතා සහිත පවුල් වල දරුවන්ට අත්වැලක්

Atlas

 



 

 

 

2022 ජනවාරි 31 කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සන්නාමය වන ඇට්ලස්, අඛණ්ඩව 19 වන වරටත් රිදී විහාරය සමග එක්වී, මෙරට ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන පවුල් වල දරු දැරියන් 2,300 කට අධික පිරිසකට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ඇට්ලස් සිප්සවි වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස , ඓතිහාසික රිදී විහාරයේ භාරකාර මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර, විශේෂයෙන් සාමණේරවරුන් සියක් නමකට ඇට්ලස් පොත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඇට්ලස් ඇක්සිලියා පුද්ගලික සමාගමේ [Atlas Axillia Co. (Pvt) Limited] කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ පැවසී ය. “වසර 62 කට අධික කාලයක් තිස්සේ රටේ දරුවන් වෙනුවෙන් ඉටුකරන මෙහෙවර තුළදී අපට ඔවුන් මුහුණ දෙන විවිධාකාරයේ ගැටලු හොඳින් අවබෝධ කරගැනීමට හැකියාව ලැබුණා. ඒ අවබෝධය ඔස්සේ රටේ සෑම දරුවෙකුගේම ඉගෙනුමට අත්වැලක් වීමට අප කැපවී කටයුතු කරමින් සිටිනවා. රිදී විහාරය සමග එක්ව ක්‍රියාත්මක කරන මෙම ප්‍රජා සත්කාරය අප ආරම්භ කළේ මීට දශක දෙකකට පමණ පෙරයි. මේ වනවිට අප එය ඇට්ලස් සිප්සවි වැඩසටහන යටතේ ක්‍රියාවට නංවමින්, රටේ දරු පරපුරේ අධ්‍යාපනයට විශාල ශක්තියක් ලබාදෙමින් සිටිනවා. එමෙන්ම, දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් ඇට්ලස් පොතක් මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම, එම මුදලින් කොටසක් තවත් දරුවෙකුගේ අධ්‍යාපනයට සවියක් වීම සඳහා ඇට්ලස් සිප්සවි අරමුදලට එක් වෙනවා. ආර්ථික දුෂ්කරතා  පවතින පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට එල්ලවෙන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පුළුල් සමාජ කතිකාවක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමටත් අප මෑතකදී කටයුතු කළා.”

“ඇට්ලස් සහ රිදී විහාරය අතර පවතින මේ සබඳතාව නිසා, පසුගිය වසර 18 ක කාලය තුළ දරුවන් දහස් ගණනකට සෙත සැලසී තිබෙනවා. විශේෂයෙන්ම දෙමාපියන්ටත් දරුවන්ටත් දුෂ්කරතාවන් රැසකට මුහුණ දීමට සිදු වී ඇති මෙවැනි කාලයක ඇට්ලස් සිදුකරන මේ ප්‍රජා සත්කාරය ප්‍රශංසනීයයි.” පූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමියෝ පැවසූහ.

පවුල්වල ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සෑම වසරකදීම මෙරට දරුවන් 22,000 ක් පමණ පාසල් අධ්‍යාපනය අතරමග නතර කරති. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකරමින්, මෙම දරුවන්ට තම අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට අත්වැලක් වීම සඳහා, පරිවාස හා ළමාරක්ෂක අධිකාරිය සමග එක්වී ඇට්ලස් සිප්සවි හරහා ශිෂ්‍යත්ව වැඩසටහනක් ද ක්‍රියාත්මකයි. මීට අමතරව දිවයින පුරා ග්‍රාමීය ප්‍රදේශ වල දරුවන්ට පොත්පත් සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීම සහ පාසල් වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමද මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ. මෙම උත්සාහය යටතේ, පසුගිය වසර තුළදී පමණක් රටේ දරුවන් 14,400 දෙනෙකුගේ අධ්‍යාපනයට ශක්තියක් වීමට ඇට්ලස් සමාගමට හැකියාව ලැබිණි.

ඉදිරියේදී දරුවන් වැඩි පිරිසකට සෙත සැලසීම සඳහා, තවත් පාර්ශ්ව  කිහිපයක් සමග අත්වැල් බැඳගෙන ඇට්ලස් සිප්සවි වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට ඇට්ලස් සමාගම බලාපොරොත්තු වෙයි. එමෙන්ම දරුවන් පාසල් හැරයාමේ ගැටලුව පිළිබඳව දිගින් දිගටම මහජනතාව දැනුවත් කරමින්, එම ගැටලුව විසඳීම සඳහා ජාතික මට්ටමින් උනන්දුවක් ඇතිකිරීම ඇට්ලස් සමාගමේ තවත් ඉලක්කයකි.

ඇට්ලස් ඇක්සිලියා (පුද්.) සමාගම 1959 වසරේදී ආරම්භ වූයේ සිලෝන් පෙන්සිල් කම්පනි (පුද්.) සමාගම යන නමින් වන අතර, මේ වනවිට එම සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාසල් ලිපිද්‍රව්‍ය නිෂ්පාදක සමාගමක් බවට පත්වී ඇත. ඉගෙනුම විනෝදමත් අත්දැකීමක් බවට පත්කිරීමේ අරමුණ මුල්කරගත් ඇට්ලස් සන්නාමය ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට බෙහෙවින් සමීප සන්නාමයක් බවට පත්වී තිබේ. ඒ නිසාම එම සමාගම 2021 වසරේදී අඛණ්ඩව දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ අංක එකේ පාසල් උපකරණ සන්නාමය ලෙස People’s Choice සම්මාන දිනාගත් අතර, ජාතික තත්ත්ව සම්මානය (2018), සහ Global Performance Excellence සම්මානය (2019) ඇතුළු තවත් දේශීය හා ජාත්‍යන්තර සම්මාන රාශියකින්ද පිදුම් ලබා ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව