ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 11ක් චීනයට යති

2024-04-06 (LBN)

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ දෙවැනි ශ්‍රේණියේ තරගාවලියක් ලෙස චීනයේ පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 11 දෙනකු සහ නිලධාරිහු තිදෙනකු චීනය බලා පිටත්ව ගියහ. එම තරගාවලිය මේ මස 9 වැනිදා සිට 14 දින දක්වා චීනයේ නිංබෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතය.

 



 

පිරිමි ඒකල සහ යුගල, කාන්තා ඒකල සහ යුගල සමඟ මිශ්‍ර යුගල තරග පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පිරිමි ඒකල තරගයට සහභාගි වන අතර, රනිත්මා ලියනගේ කාන්තා ඒකල තරගයටත් සහභාගි වීමට නියමිතය. විරේන් සමඟ බුවනෙක ගුණතිලක පිරිමි යුගල තරගයට ක්‍රීඩා කිරීමට  නියමිත අතර, තුලිත් පල්ලියගුරුගේ සමඟ ඔෂාමික පෙරේරා ද, මධුක දුලාංජන සමඟ ළහිරු වීරසිංහ ද මූලික වටයේ පිරිමි යුගල තරගයට සහභාගි වනු ඇත. මේ අතර කාන්තා යුගල තරගයට සිතුමි ද සිල්වා සමඟ ඉසුරි භාග්‍යා ක්‍රීඩා කිරීමට නියමිතය. මිශ්‍ර යුගල තරගයට චමත් ඩයස් සමඟ රෝෂිණී ගුණසේකර සහභාගි වනු ඇත.

මේ තරගාවලියේදී රොෂාන් නෙත්තසිංහ මහතා විරේන් නෙත්තසිංහගේ පුහුණුකරු ලෙසත්, යුක්ති පෙරේරා මහතා සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙසත් සහභාගි වන අතර, මාලිකා වඩුගේ මෙනෙවිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස සංචාරයට එක් වී සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේය.

විරේන් නෙත්තසිංහ, රනිත්මා ලියනගේ, බුවනෙක ගුණතිලක, චමත් ඩයස්, තුලිත් පල්ලියගුරුගේ, ඔෂාමික පෙරේරා, මධුක දුලාංජන, ළහිරු වීරසිංහ, රෝෂිණී ගුණසේකර, සිතුමි ද සිල්වා, ඉසුරි භාග්‍යා අත්තනායක.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව