ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම Emerging Asia Insurance Conclave and Awards 2023 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවෙයි

1- Arpico Insurance (LBN)

 


 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක්වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත, මෙරට වඩාත් විශ්වාසනීය ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම, Emerging Asia Insurance Conclave and Awards 2023 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාප්තිය වෙනුවෙන් අනුගමනය කළ හොඳම ක්‍රමෝපාය සඳහාවන සම්මානය දිනාගැනීමට සමත්විය. Indian Chamber of Commerce විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල ඉන්දියාවේ මුම්බායිහිදී මෙවර පැවැත්වුණේ සිව්වැනි වරට ය.

ආසියානු කලාපයේ විශිෂ්ට රක්ෂණ සේවා සමාගම්වල ජයග්‍රහණ ඇගයීම සහ බුහුමන් දැක්වීම මෙම සම්මාන උළෙල හරහා අපේක්ෂා කෙරේ. ආසියානු කලාපය තුළ රක්ෂණ කර්මාන්තය වැඩිදියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ද සම්මාන උළෙලේ තවත් අරමුණකි.

ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගමට මෙම සුවිශේෂී සම්මානය පිරිනැමීමේදී ප්‍රධාන නිර්ණායක රාශියක් සළකා බැලුණි. ශාඛා සංඛ්‍යාව, රක්ෂණ නියෝජිතයින්ගේ වර්ධන ප්‍රතිශතය, රක්ෂණ ඔප්පු සංඛ්‍යාවේ වාර්ෂික වර්ධන වේගය සහ සමාජය තුළ රක්ෂණය ප්‍රවේශය වැඩිකිරීමට ඩිජිටල් අවකාශය භාවිත කිරීම වැනි නිර්ණායක කිහිපයක්ම ඒ අතර විය. ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය, තායිලන්තය සහ ඉන්දියාව යන රටවල සමාගම් ද සම්මාන උළෙලට ඉදිරිපත්ව සිටීම කැපීපෙනුණි. සම්මාන උළෙලට නාම යෝජනා භාරගැනීමේ සිට ජයග්‍රාහකයින් තෝරාගැනීම දක්වා සමස්ත ක්‍රියාවලියම PriceWaterhouseCoopers (PwC) of India සමාගමේ අධීක්ෂණයට ලක්විය.

″මෙම ගෞරවනීය සම්මානය අපේ කාර්යමණ්ඩලයේ නොපසුබස්නා කැපවීමටත්, ඔවුන්ගේ විශිෂ්ට සේවාවටත් කදිම සාක්ෂියක්. මෙම කීර්තිමත් ඇගයීම, අපට තවදුරටත් නව්‍යකරණය වෙමින් විශිෂ්ටත්වය ළඟාකරගැනීමටත්, සියලු ශ්‍රී ලාංකිකයින්ට වඩාත් නවීන ජීවිත රක්ෂණ විසඳුම් සමීප කිරීමටත් විශාල ශක්තියක් වන බව මට විශ්වාසයි″, යනුවෙන් ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සභාපති රමල් ජාසිංහ මහතා පැවසුවේය.

″මෙම ජයග්‍රහණය පිළිබඳව අපි බෙහෙවින් ආඩම්බරයට පත්වෙනවා. පසුගිය කාලය මුළුල්ලේ අපගේ මානව සම්පත වැඩිදියුණු කිරීමටත්, පාරිභෝගිකයින් කේන්ද්‍රකරගත් ක්‍රමෝපාය තුළින් ලක්වැසි සියලු දෙනාට ජීවිත රක්ෂණ විසඳුම් සමීප කිරීමටත් අපි පියවර රැසක් ගත්තා. මෙම අභියෝගාත්මක කාලසමයේදී අපගේ ශක්තිමත් ගමනත්, අනාගත පුරෝකථනයත් ඉතාම ප්‍රශංසනීයයි. අපි ඉදිරියටත් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වයේ හිණිපෙත්ත කරා යාමට කටයුතු කරනවා″, යනුවෙන් ආර්පිකෝ ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කැලුම් සේනානායක මහතා ප්‍රකාශ කළේය.

″මෙම සම්මානය මුළුමනින්ම, රක්ෂණ ව්‍යාප්තිය වෙනුවෙන් අප විසින් ගත් උත්සාහය, ජයග්‍රහණ සහ ප්‍රගතිය වෙනුවෙන් ලද සැබෑ ඇගයීමක් ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවකයින් අතරට ජීවිත රක්ෂණ විසඳුම් ගෙනයාම, රක්ෂණ වාරික ගෙවීම් ඩිජිටල්කරණය, කලාපීය ක්‍රීඩා වැඩසටහන් හරහා අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රජාව සමඟ සම්බන්ධවීම ආදී විවිධ පියවර ඔස්සේ රක්ෂණ දැනුවත්භාවය සහ රක්ෂණ ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීමට අපි කටයුතු කළා.  ඒ වගේම, PwC වැනි ගෝලීය ආයතනයකින් අපගේ ජයග්‍රහණය නිර්දේශ වීම තුළින් අපගේ ජයග්‍රහණයේ වටිනාකම තවත් වැඩිවන අතරම, සමාජයේ බහුතරයක් වෙත ජීවිත රක්ෂණය සමීප කිරීමට ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම සතු ශක්තිමත් අවධානයත්, කැපවීමත් ඉන් මනාව විද්‍යාමාන වෙනවා″, යනුවෙන් මෙම ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක දායකත්වයක් ලබාදුන් ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගමේ අලෙවි ප්‍රධානී නෙලුෂාන් ගුණවර්ධන මහතා  පැවසුවේය.

ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම පරිත්‍යාග, සෞඛ්‍ය, කාලීන, සමූහ, ණය, රක්ෂණය හා අධ්‍යාපන, ආයෝජන, විශ්‍රාම සහ සහන සැලසුම් වැනි රක්‍ෂණ විසඳුම් රැසක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ වඩාත් විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක්වන වසර 90ක ඉතිහාසයක් ඇති Richard Pieris & Company PLC හි අනුබද්ධිත ආයතනයක් වන ආර්පිකෝ ඉන්ෂුවරන්ස් යනු ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන මෙරට ප්‍රධානම ජීවිත රක්‍ෂණකරුවන් අතර සිටින ගෞරවනීය ජීවිත රක්‍ෂණ සමාගමකි.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව