අධ්‍යාපන අමාත්‍යංශය සහ UNICEF සංවිධානය එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන් මිලියන 1.6ක් වෙනුවෙන් අහිමි වූ අධ්‍යාපනය නැවත ලබා දීමේ ජාතික වැඩසටහනට මුලපුරයි.

PHOTO-2023-08-17-11-35-33 (LBN)

 



 

 

රට පුරා විසිරී සිටින ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් මිලියන 1.6 ක් පැවති කොවිඩ් වසංගත උවදුර සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටියි. 3වන ශ්‍රේණියේ ළමුන්ගෙන් 85% ක් ගණනය කිරීම සහ සාක්ෂරතාව වැනි මූලික කුසලතාවන්හි අවම ලකුණු මට්ටම් පවා ලබා ගෙන නොමැත.

 

2023 අගෝස්තු 16 බ්‍රහස්පතින්දා, කොළඹ : පසුගිය වසර තුනක කාලය තුළදී දිගු කාලීනව පාසල් වසා දැමීම් සහ ඒ හරහා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වරින් වර ඇතිවූ බාධාවන් හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් මිලියන 1.6 කට ඔවුන්ගේ අධ්‍යාපනය නැවත ලබා දීමට සහය වීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය (MoE) සහ UNICEF සංවිධානය එක්ව පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙහෙයවන ලද ජාතික මට්ටමේ තක්සේරු වාර්තාවකට අනුව, 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ළමුන්ගෙන් 85%ක් ගණනය කිරීම සහ සාක්ෂරතාව පිළිබඳ අවම ප්‍රවීණතා මට්ටමක් හෝ ලබා නොමැත. එය ද්විතියික අධ්‍යාපන මට්ටමට සහ ඉන් එහාට අනාගත ජීවිතය සහ රැකියාව හැඩගස්වා ගැනීමට අවශ්‍ය පුද්ගල සංවර්ධනය සඳහා වඩාත් අත්‍යාවශ්‍ය වේ.

මෙම ජාතික කර්තව්‍ය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වය ඇතිව, UNICEF Sri Lanka සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග් මහතාගේ සහ රජයේ හා තවත් අංශවල පාර්ශවකරුවන්ගේ දායකත්වය ඇතිව ආරම්භ විය.

පිළිගත් අන්තර්ජාතික මිණුම් මට්ටමට අනුව රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ත් 6%ත් අතර අගයක් අධ්‍යාපන ප්‍රතිපාදන සඳහා ලබා දිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ මේවන විට අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් ඊටත් වඩා අඩු අගයක් වන 2% කට වඩා අඩු ප්‍රමාණයකි. ඒ අනුව ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ අධ්‍යාපනය සඳහා අඩුම ප්‍රතිපාදන වෙන් කරනු ලබන රට බවට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසීය. ”අධ්‍යාපන අවශ්‍යතාවයන් සඳහා ජාතික අයවැය ප්‍රතිපාදන කඩිනමින් වැඩි කළ යුතුයි. විශේෂයෙන් ප්‍රාථමික අංශයේ ශ්‍රේණි සඳහා වැඩි ප්‍රතිපාදන අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ හරහා අපි දරුවන්ගේ ඉගෙනීම වැඩි දියුණු කළ යුතුය. ඉතා වැදගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම තුළින්, රටේ සංවර්ධනයට සහාය වීම සඳහා අවශ්‍ය ශක්තිමත් මානව සම්පත් කුසලතා ගොඩනැගීමට අපට හැකි වනු ඇත.”

ඉගෙනීමේ අර්බුදයන්ගෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇත්තේ රටේ ප්‍රාථමික ශ්‍රේණිවල සහ වතුකරයේ සිටින කුඩා දරුවන් ඇතුළු අවදානම් තත්ත්වයන්ට මුහුණදිය හැකි දරුවන්ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා මෙසේ කීය. “දරුවන්ගේ සාක්ෂරතාවය, ගණිත දැනුම, සමාජ ආර්ථික යන කුසලතා ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල, ඔවුන්ගේ ප්‍රජාවේ හා ඔවුන්ගේ රටේ අනාගතය ගොඩනැගීමට ඉවහල් වේ. ඉගෙනුම් ඵල සහ නිපුණතා අත්පත් කර ගැනීමට අසමත් වන සිසුන් සහ රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය මඟහැරෙන සිසුන්ගේ ව්‍යාප්තිය අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ග අපි අගය කරනවා.’’

පසුගිය ජුලි මාසයේදී, අධ්‍යාපන අමාත්‍යංශය සහ UNICEF සංවිධානය විසින් සංවර්ධන පාර්ශවකරුවන්ගේ සහාය ලබා ගැනීම සඳහා ‘ඉගෙනුම් ප්‍රතිසාධනය’ පිළිබඳ විශේෂ දැනුම්වත් කිරීමක් පවත්වනු ලැබූ අතර, එහි පවතින පරතරය හඳුනා ගැනීමට සහ ඒ සඳහා ගනු ලබන ක්‍රියාවන්ට ප්‍රමුඛතාවය ලබා දීම සඳහා රටේ පළාත් නවය පුරා තාක්ෂණික මට්ටමේ වැඩමුළු පවත්වන ලදී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව