අන්තර්ජාලය මගින් පැවැත්වූ IIT Cutting Edge ප්‍රදර්ශනයේදී, සිසුන්ගෙන් නිර්මාණාත්මක විසඳුම් රැසක්

IIT (1) (1)

 ශ්‍රී ලංකාවේ පුරෝගාමී අධ්‍යාපනික ආයතනයක් වන ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), ශ්‍රී ලාංකීය සිසුන් දහස් ගණනකට, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අධ්‍යයන විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය පිරි නමන, පිළිගත් අධ්‍යාපනික ආයතනයකි. එමගින් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අධ්‍යයන විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලොව පිළිගත් බ්‍රිතාන්‍ය සහතිකයක් පිරි නමමින්, මේ වන විට ශ්‍රී ලාංකීය සිසුන් දහස් ගණනකගේ අනාගත වෘත්තීය අපේක්ෂාවන් සඵල කරගැනීම සඳහා මං පෙත් හෙළි කරදී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික විශ්ව විද්‍යාලය වශයෙන්ද පිළිගැනීමට පාත්‍ර වි තිබෙන IIT ආයතනය, සිසුන්ගේ තොරතුරු තාක්ෂණික හා ව්‍යාපාරික යන අංශයන්හි නවතම විසඳුම් රටට හඳුන්වා දෙමින් වාර්ෂිකව Cutting Edge ප්‍රදර්ශනයද පවත්වනු ලබයි.

තවමත් රට තුළ මෙන්ම, ලොව පුරා පහව නැති කොවිඩ් 19 වසංගත අවදානම හේතුවෙන්, මෙවර Cutting Edge 2020 ප්‍රදර්ශනය, සිසු සිසුවියන් හා IIT කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක් කර ගනිමින් අන්තර්ජාලය මගින් ඉතා සාර්ථක අන්දමින් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබිණි

Cutting Edge ප්‍රදර්ශනය යනු බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන උපාධි වැඩසටහන් හදාරනු ලබන IIT සිසුන්ගේ ඩිජිටල් ව්‍යවසායකත්ව නිපුණතා ඉහළ නැංවීම පිණිස වාර්ෂිකව එම ආයතනය මගින් සංවිධානය කරනු ලබන වැඩසටහනකි. “වෙනස්කම්වලට අනුගත වීම හා ඩිජිටල් තාක්ෂණික පරිවර්තනය” යන  තේමාවෙන් යුතුව මෙවර පැවැත් වුණු ප්‍රදර්ශනය, IIT වෙබ් අඩවිය මගින් මෙන්ම ආයතනයේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේද සජීවිව විකාශය කිරීමට කටයුතු කෙරිණි.

IIT ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, පරිගණක විද්‍යාව, ව්‍යාපාර තොරතුරු පද්ධති (BIS) හා ව්‍යාපාර කළමණාකරණ උපාධි හදාරන සිසුන් සිය විෂය ක්ෂේත්‍රයට අදාළව සිදු කරන ලද ව්‍යාපෘතින් මෙහිදී ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරිණි. එමෙන්ම, අන්තර්ජාලය මගින් පැවැති මෙවර Cutting Edge ප්‍රදර්ශනයද හුදෙක් ව්‍යාපෘති ප්‍රදර්ශනයක් පමණක්ම නොකිරීමට සංවිධායක මණ්ඩලය සැලකිලිමත්ව තිබුණි. එය පෙර වසරවල පැවති අංගද ඇතුළත් කර ගනිමින්, Cutting Edge සජීවී සාකච්ඡාව,‍ webinars, coding තරග, gaming තරග, ප්‍රශ්නාවලි, business pitch තරගවලින් සමන්විතව, IIT සිසුන්ගේ දක්ෂතා ගණනාවක්ම එළි දක්වන වේදිකාවක් බවටද පත්ව තිබිණි.

Cutting Edge 2020 ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින්, IIT ආයතනයේ පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය සඳහන් කළේ මෙවැන්නකි.

“කොවිඩ් 19 වසංගතය නිසා ලොව සෑම කෙනෙකුටම වෙනස් ලෙස සිතීමටත්, වෙනස් පරිසරයන්ට අනුගත වීමටත් සිදු වුණා. IIT ආයතනය වසරක් පාසා පවත්වන Cutting Edge ප්‍රදර්ශනය, අන්තර්ජාලය මගින් පවත්වන මුල්ම අවස්ථාව මෙයයි. පවතින තත්ත්වය යටතේ එය අන්තර්ජාලය මගින් පැවැත්වීම කියන්නේ, හැම කෙනකුටම වෙනස් ආකාරයට සිතීමට අවස්ථාවක් උදා කරලීමයි. සිසුන්ට තමන්ගේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පමණක් නොවෙයි, අන්තර්ජාලය මගින් එය ඉහළම බලපෑමක් ඇතිවන පරිදි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම සෑම කෙනෙකුටම තමන්ගේ ව්‍යාපෘතිය හොඳම නිමාවෙන් ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ අනෙක් අය සමග සාකච්ඡා කළ යුතු වුණා. අන්තර්ජාලය මගින් මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්වීමේදී පවතින බාධා මග හරවා ගනිමින් හොඳම ප්‍රදර්ශනයක් පැවැත්වීමට හැකි වුණා. එය ආයතනයේ වෙබ් අඩවිය මගින්ද නැරඹීමට හැකිවන පරිදි වීඩියෝ ගත කර තිබෙනවා. ඇත්තටම එය කණ්ඩායම් කාර්යයක්.”

 

 



 

 

Cutting Edge 2020 සමගාමීව පැවති Webinars මෙන්ම සාකච්ඡා වට මගින්, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් පිළිබඳව යහපත් වැටහීමක් ලබා ගැනීමට මග පෑදුණු අතර, Introduction of IoT and practical sessions of IoT with Arduino (or Microbit) මැයෙන් XO Concept හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිර්මාණ ශිල්පී මාලින්ද රත්නායක පවත්වන ලද වැඩසටහනද, “Cyber Security – Awareness of the threats in IoT and Smart Cities” මැයෙන් මෘදුකාංග ක්ෂේත්‍රයේ 22 වසරකට අධික පළපුරුද්දක් සතු, තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු වූ ශාන් ශන්මුගරාජා විසින් පැවැත්වූ වැඩමුළුවද, “Business Models for Smart Cities and Urban Innovation” මැයෙන් hSenid Mobile Solutions හි ප්‍රධාන ගිණුම් කළමණාකාරී රන්දුල විජේසිංහ විසින් පවත්වන ලද වැඩසටහනද විශේෂිතය.

IIT සිසුන් විසින් පවත්වන ලද ව්‍යාපෘති ප්‍රදර්ශනය අතරතුර කෘතිම බුද්ධිය (AI), ත්‍රිමාණ යථාර්ථය (AR), Cloud  පරිගණකකරණය, දත්ත විද්‍යාව, බිග් ඩේටා, NLP, අන්තර්ජාල කටයුතු, මනෝ විශ්ලේෂණය, එම්බෙඩඩ් සිස්ටම්, රොබෝ විද්‍යාව, ෆින් ටෙක්, ව්‍යවසායකත්වය, ඊ-වාණිජ්‍යය, ක්‍රීඩා සංවර්ධනය, ව්‍යාපාර විශ්ලේෂණ, ඩිජිටල් අලෙවිකරණය සහ රූප සැකසුම් ආදී ක්ෂේත්‍ර ගණනාවකින් නිර්මාණ ඉදිරිපත් කර තිබුණි. එහි “මෘදුකාංග ව්‍යාපෘති නවෝත්පාදනය” යන කාණ්ඩය යටතේ හොඳම ව්‍යාපෘතියට හිමි දී රන් සම්මානය ස්ටෙලාන් බ්‍රයන් සිමොන්ස් විසින් නිර්මාණය කළ “දෘශ්‍යාබාධිතයන් සඳහා ස්මාර්ට් සපත්තු” වෙත හිමිවිය. පලමුනි දිලම් මධුරංග ද සිල්වා එහි රීදී සම්මානයද, වර්ණකුලසූරිය ඉෂානි රයන්ති කෘස් ලෝකඩ සම්මානය දිනා ගත්හ. අයිඩියා මාට් අනුග්‍රහය දක්වන ලද “ව්‍යාපාර නවෝත්පාදන” කාණ්ඩය යටතේ හොඳම ව්‍යාපෘතිය සඳහා රන් සම්මානලාභියා වූයේ “ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ සම්බන්ධ චර්න් පුරෝකථන සහිත එන්ජිම” ලෙස් හඳුන්වනු ලැබූ, රිදී සම්මානලාභී තිලිනි ප්‍රාර්ථනා ගිම්හානි විසිනි. එම කාණ්ඩයේ රිදී සම්මානය, මොහොමඩ් ඉෆ්රාම් ඉස්මාත් හටද, ලෝකඩ සම්මානය හැනා නටාෂා හරිහරන් හටද හිමි විය. ඊට අමතරව, “ව්‍යාපාර නවෝත්පාදන – තොරතුරු මත පදනම් වූ ව්‍යවසාය ආරම්භක සම්මාන” මැයෙන්  සම්මානද, පදනම් මට්ටමේ සිසුන්ගේ ව්‍යාපෘති සඳහාද, ව්‍යාපාර තොරතුරු පද්ධති, ව්‍යාපාර කළමනාකරණය සහ මෘදුකාංග ඉංජිනේරු / පරිගණක විද්‍යාව යන අංශ යටතේ පළමු හා දෙවැනි වසර සිසුන්ගේ ව්‍යාපෘති සඳහාද සම්මාන පිරි නැමිණි.

ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවති, බිස්නස් පිච් 2020 තරගය School track හා IIT track යනුවෙන් පැවැත්විණි. එහිදී  අවුරුදු 15 ට වැඩි වයස් කාණ්ඩයේ දේශීය විදේශීය පාසල් සිසුන් සඳහා School track යටතේද,  සියලුම තාක්ෂණික හා පදනම් සිසුන්ට “තාක්‍ෂණික නොවන ව්‍යාපාර විසඳුම” සහ “තාක්‍ෂණික ව්‍යාපාර විසඳුම” යන තේමාවන් යටතේ තරග වැදීමට  IIT track ද විවෘත විය IIT track ශූරතාවය සුධාරක පෙරේරා දිනා ගත් අතර පළමු අනුශූරතාව ජිතේන්ද්‍රන් ජූඩ් සජිත් හෙක්ටර් සහ දෙවන අනු ශූරතාවය එම්. බ්‍රයන් කේ. අනුපමා ප්‍රනාන්දු විසින් දිනා ගැණිනි. පාසල් ශූරතාවය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ෂෙනාල් කුමාරවඩු විසින් හිමි කර ගැණුනු අතර, එහි පළමු අනුශූරතාව වත්තල OKI ජාත්‍යන්තර පාසලේ රුෂ්ඩා රෆීක්, අමන්ඩා ප්‍රනාන්දු සහ උදයකුමාර් ජෙමීමා විසින් දිනා ගනු ලැබිණි.

Coding සිසුන්ගේ දක්ෂතාවය අනෙකුත් සිසුන්ට ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව සලසමින් coding තරගයක්ද එහිදී පැවැත්විණි. අන්තර්ජාලය මගින් පැවැත්වුණු Cutting Edge Gamefest තරගාවලියේදී, Valorant, Dota 2හා Call of Duty Mobile මගින් විඩියෝ ගේම්ලෝලීන්ට අනෙක් අය හා තරග වැදීමට අවස්ථාව උදා වී තිබිණි. එකිනෙකාට අභියෝග එල්ල කළ හැකි අයුරින් පැවති, “Kahoot Quiz Competition” තරගයටද සිසුන්ගේ පුදුමාකාර ප්‍රතිචාර හිමිවුණි.

ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය උපාධි පිරිනමන ශ්‍රී ලංකාවේ මුල්ම පුද්ගලික උසස් අධ්‍යාපන ලෙසින් 1990 පිහිටුවනු ලැබිණි. එය බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ හා රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තරික උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පිරිනමන සම්මානිත අධ්‍යාපනික ආයතනයකි. ඉකුත් වසර ගණනාව තිස්සේම, ලොව පිළිගත් උපාධි පිරිනමමින් ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අංශයන් ශක්තිමත් කිරීම සඳහා ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), සුවිශාල දායකත්වයක් දක්වා තිබේ. 1990 වසරේ එහි ආරම්භයේ පටන් මේ දක්වා 3000 කට අධික උපාධිධාරීන් පිරිසක් ඉන් බිහි කර තිබේ. මෙම උපාධිධාරීහු දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ස්වයං ව්‍යවසායකයින් ලෙසින් මෙන්ම, තොරතුරු තාක්ෂණික හා ව්‍යාපාරික වෘත්තිකයින් ලෙසින්ද  සාර්ථකව සිටිති. ඔවුහු දේශීය හා විදේශීය සමාගම් 250 කට අධික ප්‍රමාණයක, ප්‍රධාන තනතුරු දරමින්, එම සමාගම්වල දියුණුව වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරති.

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව