කොවිඞ් 19 ලොව පුරා මෙන්ම ශ‍්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිතවලට අභියෝග රැසක් එල්ල කර ඇති බව නොරහසක්. වේගයෙන් ගලා ගිය ජීවිත මන්දගාමී කර, අප සැම තුළ තිබූ ඉලක්කයන්, තේරීම් සහ සබඳතා පිළිබඳව නැවතත් සිතන්නට තරම් බලපෑමක් මෙම වසංගතය මගින් කර තිබෙනවා.
මෙම තත්වය කෙදිනක නිමාවේ දැයි නිශ්චිත අවබෝධයක් නොමැති වීම හේතුවෙන් සෞඛ්‍යාරක්ෂණ සම්පත් සීමා සහිත වීම, ශාරීරික හා සමාජ දුරස්ථභාවය නිසා එකිනෙකා අතර තිබූ සබඳතා සිමා වීම, විරැකියාව හා ආදායම් මාර්ග අහිමිවීම හේතුවෙන් මූල්‍ය අගහිඟතා වැනි කරුණු තරුණ හා මහලූ දෙපාර්ශවයේම යම් ආකාරයක මානසික පීඩාවන්ට ලක් වීමට හේතු වී තිබේ. මේ තත්ත්වය වඩාත් අභියෝගාත්මක වී ඇත්තේ කුඩා දරුවන් සිටින දෙමාපියන් හටයි. එනම් නිවසේ සිට රාජකාරී කරන අතරතුර දරුවන්ගේ ආරක්ෂාව හා අධ්‍යාපනය වෙනුවෙන් ලබා දෙන අවධානය අඩු වීම මීට හේතුවයි.
ළමා ලෝකය සුන්දර කරන ක‍්‍රියාකාරකම්
මේ අතර, කොවිඞ්-19 වසංගතය නිසා දිවයින පුරා පාසැල් දින නියමයකින් තොරව වසා දැමීම නිසා දරුවන්ට, තම මිතුරන් සමඟ ගත කරන්නට තිබූ කාලය සහ පාසැලේ විවිධ බාහිර ක‍්‍රියාකාරකම් වලට සහභාගී වීමට ඇති අවස්ථාවන් සම්පුර්ණයෙන්ම මගහැරිණි. තාක්ෂණය උපයෝගී කරගනිමින් අධ්‍යාපන කටයුතු සිදුකරන්නට කටයුතු සම්පාදනය වුවත්, වසංගතය නිසා දරුවන්ට සිදුවූයේ device එකක් තුළ සිරවීමටයි. මේ හේතුවෙන් දරුවන් දැඩි මානසික පසුබෑමකට ලක් විය.
මෙවැනි පසුබිමක් තුළ, දරුවන්ගේ මානසික යහ පැවැත්ම වෙනුවෙන් පවුල් ඒකකය තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරන බව කොළඹ වෛද්‍ය පීඨයේ සාමාජිකා සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා මනෝ චිකිත්සක විශේෂඥ වෛද්‍ය දුලංගී දහනායක මහත්මිය පවසා සිටියි.
‘‘දරුවකු ආරම්භයේ මුල් පියවර තබන්නේ පවුලෙන්. අප ‘බැඳීම් සම්බන්ධතාවයක්’ ලෙස හඳුන්වන එය සිදුවන්නේ පවුල් පරිසරය තුළ දෙමව්පියන් සමග වන අතර අවසානයේදී අනාගතයේ සියලූ සම්බන්ධතා සඳහා ශක්තිමත් අඩිතාලමක් වන්නේ ද එයයි. දරුවකුගේ පැවැත්මට සහ සතුටුදායක සංවර්ධනයට තවත් පුද්ගලයෙකු සමග මනෝ විද්‍යාත්මක සම්බන්ධතාවක් පවත්වා ගැනීම ඉතා වැදගත් වනවා.
තවද, කොවිඞ්-19 වසංගතය අතරතුර පාසල් වැසී යාම නිසාත්, සමාජ දුරස්ථභාවය පැනවූ නීති රීති නිසාත්, දරුවන්ට ඔවුන්ගේ මිතුරු මිතුරියන් සමඟ සබඳතා පැවැත්වීමටත්, පාසලේ බාහිර ක‍්‍රියාකාරකම්වලට සහභාගී වීමටත් නොහැකි වී තිබෙන අතර මේ තත්වයට විසඳුමක් ලෙස කඩිනමින් මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමවේදයන් යොදා ගත්තද නිවස තුළ ඇති වූ මේ සිරවීම බොහෝ දරුවන්ගේ මානසික සුවතාවයට දැඩි බලපෑම් එල්ල කර තිබෙන බව අපට දැකගන්නට ලැබුණා.’’ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
නමුත් මේ කාලය අතරතුර දරුවන්ට තමන්ගේ දෙමාපියන්, සමඟ වැඩි කාලයක් ගත කිරීමට හැකි වීම නිසා බොහෝ යහපත් ප‍්‍රතිලාභ ලබා ගැනීමට හැකි වී තිබීම ද මෙහිදී සඳහන් කළ යුතුය. එහිදී දෙමාපියන් සමඟ එක්ව අලූත් කෑම බීම පිළියෙල කිරීමට උනන්දු වීම, ගෙදර-දොර වැඩ කටයුතුවලට උදව් වීම, චිත‍්‍ර ඇඳීම හා සමහර දරුවන් තාක්ෂණය පසෙකලා සෙල්ලම් ගෙවල් සෑදීම වැනි ක‍්‍රියාකාරකම්වලට යොමු වීම ආදිය දැක්විය හැකිය.
අභියෝගාත්මක කාලවලට මුහුණ දීම හා එයට හැඩ ගැසීම
‘‘මෙවැනි දුෂ්කර කාලයකදී, දරුවන් තුළ නිරෝගී මානසික තත්වයක් පවත්වාගැනීමේ වැදගත් අංගයක් වන්නේ දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන සංවේදීතාවයයි. කොතරම් කාර්යබහුල වුවත්, දවසේ වෙන්කරගත් වේලාවක් දරුවන් කෙරෙහි මේ කාල වකවානුවේදී යොදවන්නට හැකිනම්, එය දරුවන්ගේ යහපැවැත්මට සහ ඔවුන්ගේ සංවර්ධනයට බෙහෙවින්ම බලපාන බව නොරහසක්. උදාහරණයක් ලෙස පවුලක් ලෙස එකතුවී සෙල්ලම් ගෙයක් සැදීම, රසබර කෑම වේලක් පිළියෙළ කිරීම හෝ නිවස අවට සහ පිටත සුද්ධ පවිත‍්‍ර කිරීම වැනි ක‍්‍රියාකාරකම්, පවුලේ සාමාජිකයන් අතර බැඳීම වඩවඩාත් දියුණු කරන අතරම, දරුවන්ගේ මානසික සුවපත්භාවය ඉහළ යාමට ද හේතු වනවා.’’ යනුවෙන් ඇය සඳහන් කරයි.
පවුල් තුළ ‘හොඳ ලෙඩ’ සංස්කෘතියක්
කොවිඞ් 19 නිසා බාල, මහළු, තරුණ සියලූ දෙනාගේම මානසික සුවතාවය බිඳී ගොස් ඇති අවස්ථාවක, ‘නරක ලෙඩ‘ දුරුකරමින් ගීත ගයන ලෙඩ, කියවන ලෙඩ, උයන ලෙඩ වැනි ‘හොඳ ලෙඩ‘ වඩ වඩාත් ඇති කරගැනීමට, පවුලක් වශයෙන් එකතු විය යුතු වැදගත් කාලයක් දැන් එළැඹ ඇත. පවුලේ යහ පැවැත්ම සම්බන්ධයෙන් මෙම ගැටලූව පිළිබඳ ධනාත්මක සංවාදයක් ඇති කළ ප‍්‍රමුඛතම ශ‍්‍රී ලාංකීය සන්නාමයක් වන්නේ සොෆ්ට්ලොජික් ලයිෆ්ය. ඔවුන්ගේ ‘ලෙඩ ලෙඩ‘ සංකල්පය ඔස්සේ ශ‍්‍රී ලංකාවේ පවුල් ඒකක තුළ හොඳ ලෙඩ (හොඳ පුරුදු) සංස්කෘතියක් වර්ධනය කිරීම, වසංගත කාලය තුළ සියලූ සාමාජිකයන්ගේ මානසික යහ පැවැත්ම සහතික කිරීම සඳහා බොහෝ දුර යා හැකි බව පෙන්වා දෙනු ලබයි. දරුවන් සමග පවුලේ ක‍්‍රියාකාරකම්වල යෙදීම සහ ඔවුන්ගේ මානසික අවශ්‍යතා සපුරාලීම නිසැකවම අපගේ අනාගත දරු පරපුර සුරක්ෂිත හෙටක් කරා රැගෙන යාමට ඉවහල් වනවා නිසැකයි.