නීති විරෝධී මත්පැන් හා සිගරට් සමඟ සැකකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති – 2025 ජනවාරි 30
නීති විරෝධීව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් මාට්ටු – මව්බිම – 2025 ජනවාරි 21
නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට – අරුණ – 2025 ජනවාරි 16
තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි හා මත්පැන් තොගයක් අත්අඩංගුවට – ශ්‍රී ලංකා පොලීසිය – 2025 පෙබරවාරි 08
නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට – දිනමිණ – 2025 පෙබරවාරි 25
නීති විරෝධී දුම්වැටි සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට – මව්බිම – පෙබරවාරි 24
නීති විරෝධී දුම්වැටි 13,000ක් සමඟ සැකකරුවකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට – ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති – 2025 මාර්තු 9
හොර පාරෙන් ගෙනා කෝටි 125ක සිගරට් වනසයි – ලංකාදීප – 2025 මාර්තු 03
මේ ගෙවුණු මාස කිහිපය තුළ පමණක් මෙරට මාධ්‍ය කිහිපයක පළවූ ප්‍රවෘත්ති කිහිපයකි. තවත් මේ ආකාරයේ ප්‍රවෘත්ති ඕනෑ තරම් පසුගිය කාලය තුළ වාර්තා වූ බව නොරහසකි. හෙට දවසේද මෙවන් ප්‍රවෘත්ති ඕනෑ තරම් වාර්තා විය හැකිය. මෙය සැබෑවටම ප්‍රවෘත්තියක් බවට පත් වන්නේ එම සිදුවීම්හි ඇති වැදගත්කම හා විශේෂත්වය නිසාය.
අද වන විට ශ්‍රී ලංකාව තුළ හොර රහසේ විදේශීය මත්පැන් හා සිගරට් මහා පරිමාණයෙන් අලෙවි වන බව බොහෝ දෙනා දන්නා කරුණකි. එම මත්පැන් හා සිගරට්වලින් අත්අඩංගුවට ගත හැකි වී ඇත්තේ ඉතා ස්වල්ප ප්‍රමාණයක් පමණක් වන අතර තවත් බොහෝ පිරිසක් හොර රහසේ මෙම ජාවාරම සිදුකරගෙන යති. ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවේ 2023 විගණන වාර්තාවට අනුව 2023 වසර තුළ පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ 1913 හදිසි ඇමතුම් අංකයට මේ ආකාරයේ නීත්‍යානුකූල නොවන මත්පැන් හා දුම්වැටිවලට අදාළ ව්‍යාපාර සම්බන්ධයෙන් පැමිණිලි 899ක් පමණ ලැබී ඇති අතර ඉන් 317ක් විශේෂ මෙහෙයුම් ඒකකය වෙතද, 554ක් ප්‍රාදේශීය කාර්යාලයන්ටද, 28ක් මත්ද්‍රව්‍ය නාශක ඒකකයටද යොමු කොට ඇත. වසර අවසන් වන විට ඉන් 356ක් සාර්ථකව විමර්ශනය කොට තිබිණ. 2024 මාර්තු 31 දින වන විට සිදුකර ඇති සාර්ථක විමර්ශනයන 365කි. එනම් මුලු පැමිණිලි ප්‍රමාණයෙන් 41%කි.
ඉහත දත්ත මඟින් නීතියේ රැහැනට හසුවන ජාවාරම් ප්‍රමාණය හා හසු නොවන ප්‍රමාණය මෙන්ම විමර්ශන හරහා අදාල නීත්‍යානුකූල පියවර ගන්නා ප්‍රමාණය පිළිබඳව මනාව අවබෝධ කර ගත හැකිය. ඒ නිසාම අද වන විට මෙම ජාවාරම විශාල වශයෙන් ලාභ ලබන කූට ජාවාරමක් බවට පත්ව ඇත. එය එසේ වී ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි සොයා බැලීම මෙම ගැටලුව විසඳීමට ඇති පහසුම ක්‍රමයයි.
වර්තමානයේ මෙරට බදු ප්‍රතිපත්ති හේතුවෙන් නීත්‍යානුකූල මත්පැන් හා සිගරට්වල මිල ඉහළ අගයක පවතී. මේ නිසා මෙම නීත්‍යානුකූල නිෂ්පාදනයන්හි අලෙවිය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.
එහෙත් ජාවාරම්කරුවන් විසින් විවිධ රටවලින් නීත්‍යානුකූල නොව මාර්ගයන්ගෙන් මෙරටට ගෙන්වාගත් මත්පැන් හා සිගරට් අලෙවි කරනුයේ නීත්‍යානුකූල මත්පැන් සහ සිගරට්වලට වඩා බොහෝ සෙයින් අඩු මුදලකට ය. ජාවාරම්කරුවන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ ආර්ථික වාසිය මිස රටේ ආර්ථිකයට දායක වීම නොවේ. ඒ නිසාම ජාවාරම්කරුවන් විසින් මෙසේ පාරිභෝගික ඉල්ලුම ඉහළ යන විට ඊට අදාල සැපයුම වෙනුවෙන් වැඩි වැඩියෙන් විවිධ ක්‍රම ඔස්සේ නීත්‍යානුකූල නොවන මත්පැන් හා දුම්වැටි මෙරටට ගෙන ඒමට කටයුතු කරමින් සිටිති.
මෙය මෙරට ආර්ථිකටද ඍජුවම බලපාන කරුණක් වන්නේ කිසිඳු බදු ගෙවීමකින් තොරව ජාවාරම්කරුවන් තමන්ගේ ව්‍යාපාර සිදු කරගෙන යාමයි. නීත්‍යානුකූල මත්පැන් හා දුම්වැටි නිෂ්පාදකයින් නිසි පරිදි අදාළ බදු මුදල් වාර්ෂිකව රජයට ගෙවනු ලබන අතර එසේ නොගෙවන අවස්ථාවන්හිදී එම ආයතන සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට වුවද රජයට හැකියාව ඇත්තේ එම සමාගම් රජයේ නීති රීති රාමුව තුළ ක්‍රියාත්මක වන බැවිනි. ඒ පිළිබඳව පසුගිය කාලය තුළ බොහෝ දේ මාධ්‍ය මඟින් දක්නට ලැබිණි.
රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව 2023 වසර ආරම්භයේදී මෙරට ලියාපංදිචි මත්පැන් හා දුම්වැටි නිෂ්පාදකයින්ගෙන් අයකර ගැනීමට අපේක්ෂා කළ බදු ආදායම රුපියල් බිලියන 354ක් විය. ඉන් රුපියල් බිලියන 214ක බදු මුදලක් මත්පැන් නිෂ්පාදකයින්ගෙන්ද, රුපියල් බිලියන 140ක බදු මුදලක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදකයින්ගෙන්ද අය කර ගැනීමට අපේක්ෂා කර තිබිණ. 2023 වසර අවසන් වන විට ඉලක්කගත බදු මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් අය කර ගැනීමට සමත් විය. එහිදී මත්පැන්වලින් රුපියල් බිලියන 170 කට වැඩි බදු මුදලක්ද දුම්වැටි නිෂ්පාදනවලින් රුපියල් මිලියන 117කට වැඩි බදු මුදලක්ද අය කර ගැනීමට හැකියාව උදා විණ. ඒ අනුව සමස්ත මත්පැන් හා දුම්වැටි බදු ලෙස රුපියල් මිලියන 287,727ක සුවිසල් බදු මුදලක් එකතු කර ගැනීමට ඔවුන්ට හැකි විය.
ඉහත පරිච්ඡේදයේ සඳහන් කළ ආකාරයට නීති විරෝධී ජාවාරම් සම්බන්ධයෙන් නිසි බලාත්මක කිරීම් සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. එමෙන්ම මෙම බලාත්මක කිරීම්වලට ලක් නොකළ අවස්ථාවන් පිළිබඳ සැලකීමේදී රජයට අහිමිව ගොස් ඇති බදු මුදල ඊට වඩා බෙහෙවින් විශාලය.
පාරිභෝගිකයාට හා රටට බලපාන අයුරු
මත්පැන් හා දුම්වැටි සම්බන්ධ දඩ මුදල් අයකර ගැනීම සිදුකළ හැක්කේ අත්අඩංගුවට ගනු ලබන නීතිවිරෝධී මත්පැන් හා දුම්වැටි නිෂ්පාදකයින්ගෙන් හා ගෙන්වන්නන්ගෙන් පමණකි. නීති විරෝධී මත්පැන් හා දුම්වැටි හේතුවෙන් ආර්ථිකයට ඇති වන බලපෑම අවම කර ගැනීමට මෙම දඩ මුදල් අය කිරීම මඟින් පමණක් කිසිඳු හැකියාවක් නොමැත.
නීත්‍යානුකූල නොවන දුම්වැටි හා මත්පැන් වෙළෙඳපොල තුළ අලෙවිය අවම කළ හැක්කේ කෙසේද?
නීත්‍යානුකූල නොවන දුම්වැටි හා මත්පැන් වෙත පාරිභෝගිකයින් වැඩියෙන් යොමු වී ඇත්තේ නීත්‍යානුකූල නිෂ්පාදනයන් අධික මිලක් යටතේ මිලදී ගැනීමට දුෂ්කර වී ඇති බැවිනි.
මෙම නිෂ්පාදනයන්ට අදාළව තත් කාලීන බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. නීත්‍යානුකූල දුම්වැටිවල හා මත්පැන්වල බදු හා මිල වැඩි කිරීම තුළින් එම නිෂ්පාදනයේ භාවිතය අඩු කිරීමට බලාපොරොත්තු වීම නිෂ්ඵල කාර්යයකි. අඩු මිලට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගෙන්වා අලෙවි කරනු ලබන නිෂ්පාදන වෙළෙඳපොලේ වැඩි වීම පමණක්ම මෙයින් සිදුවන බවට දැනට පෙනෙන ආකාරයෙන් සාක්ෂාත් කරගත හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙහි විශ්ලේෂණයන්ට අනුව 56.5% යනු නීත්‍යානුකූල දුම්වැටි සඳහා අඩු ආදායම්ලාභී රටවල් අයකරනු ලබන සාමාන්‍ය බදු ආදායමයි. 66.9% යනු ඉහළ ආදායම් ලබන රටවල් නීත්‍යානුකූල දුම්වැටි සඳහා අය කරනු ලබන මුදලකි. එසේ සැලකීමේදී ශ්‍රී ලංකා රජය මඟින් මෙරට නීත්‍යානුකූල දුම්වැටි මත පනවා ඇති 68%ක බදු ප්‍රමාණය ඉහළ ආදායම් ලබන රටවලටත් වඩා වැඩිය. ඒ පිළිබඳව වැඩි විස්තර www.who.int වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.
මත්පැන්වල තත්වයද එසේම ශ්‍රී ලංකාවේ මත්පැන් මිල දෙවැනි වන්නේ තායිවානයට පමණකි. තායිවානයද මත්පැන් අධික මිලකට අලෙවි කරන අතර ශ්‍රී ලංකාවද ඒ අනුව යමින් වැඩි මිලට අලෙවි කිරීමට කටයුතු කරනුයේ රාජ්‍ය බදු ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙනි. එහෙත් පසුගිය වසර තුළ මෙම මිල අධික වීම හේතුවෙන් මත්පැන් අලෙවිය සැලකිය යුතු පසුබෑමට ලක් වූ බව වාර්තා වී ඇත.
මෙම නීත්‍යානුකූල නොවන අලෙවිය තුළින් නීත්‍යානුකූල කර්මාන්තයට බලපෑමක් එල්ල වන අතරම ආර්ථික පසුබෑමට ලක්ව ඇති අවස්ථාවක රටේ ආර්ථිකයට දායක කරගත හැකි විශාල බදු මුදල් ප්‍රමාණයක් ලෙස ඛාදනය වීම මඟින් සිදු වන පාඩුව අති මහත්ය. එහෙයින් එම පාඩුව පියවා ගනිමින් නීත්‍යානුකූල නොවන මත්පැන් හා දුම්වැටි සම්බන්ධ නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමටත්, නීත්‍යානුකූල කර්මාන්තයන්හි ස්ථාවර බව ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමටත් රජය කඩිනමින් කටයුතු කළ යුතුය. එසේ නොමැති වුවහොත් මෙය රට තුළ තවත් සුවිසල් ආර්ථික අර්බුධයක් නිර්මාණය කිරීමේ ප්‍රමුඛ සාධකයක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.