කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා පිළිබඳව තායිලන්තයේ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කෙරේ

Copy of DSC_0162 (LBN)

 



 

 

රටවල් 36 ක සාමාජිකත්වය සහිත තායිලන්තයේ ඒකාබද්ධ විදේශ වාණිජ මණ්ඩලයේ සභාපතිවරුන්ගේ රැස්වීම පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි. CHEC Port City Colombo (පුද්.) සමාගමේ ආයෝජන ප්‍රවර්ධන කලාපීය ප්‍රධානී (ආසියා පැසිෆික් කලාපය) ආචාර්ය සරයුත් ලෙක්ප්ලිපෝල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්, කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමේ ආයෝජන සම්බන්ධතා කාර්යාලය විසින් මෙහි සත්කාරකත්වය දරන ලදි. 2023 ජනවාරි 25 දින Conrad Bangkok හිදී පැවැත්වුණු මෙම උත්සවය, කොළඹ වරාය නගරය තුළ පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

මෙම ආයෝජන සම්බන්ධතා කාර්යාලය මේ වනවිට තායිලන්තයේ ආයෝජන මණ්ඩලය සහ එරට ඒකාබද්ධ විදේශ වාණිජ මණ්ඩලය සමග එක්ව ප්‍රවර්ධන කටයුතු වල නිරත වී සිටී. කොළඹ වරාය නගරයේ පවතින ආයෝජන අවස්ථා මෙන්ම, ව්‍යාපාර පිහිටුවීම මගින් ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමාගම් හා ආයතන දැනුවත් කිරීම මෙහි ප්‍රධානතම අරමුණ විය. දකුණු ආසියාවේ මුවදොර ලෙස ගොඩනැගෙන කොළඹ වරාය නගරයෙහි ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාවක් උදාකර ගැනීමට බොහෝ සමාගම් හා ආයතන උනන්දු වනු නිසැක ය. එමෙන්ම, තවත් විශේෂ ආර්ථික කලාපයක් වන තායිලන්තයේ නැගෙනහිර ආර්ථික කොරිඩෝව සහ කොළඹ වරාය නගරය එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාවද මේ වනවිට සොයාබැලෙමින් පවතින අතර, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව අතර වාණිජමය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ වී ඇත.

“මෙය අපට කොළඹ වරාය නගරයේ පවතින සුවිශේෂී ආයෝජන අවස්ථාවන් පිළිබඳව රටවල් 36 ක නියෝජිතයන් දැනුවත් කිරීමට ලැබුණු අගනා අවස්ථාවක් වුණා. එහිදී විශේෂයෙන්ම තායිලන්තයේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් දැනුවත් කිරීමටත් අපට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාව සහ තායිලන්තය යනු අතීතයේ පටන්ම සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන රටවල් දෙකක්. කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය හරහා එම සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත්, ඒ ඔස්සේ දෙපාර්ශ්වයට ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇති බවත් අප විශ්වාස කරනවා.” ආචාර්ය සරයුත් ලෙක්ප්ලිපෝල්   පැවසී ය.

2023 ජූනි මාසයේදී “INVEST SRI LANKA 2023-2024” නමින් ආයෝජන සමුළුවක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇති බවද මෙහිදී අනාවරණය කරන ලදි. තායිලන්තයේ ලැයිස්තුගත සමාගම්, පෞද්ගලික ආයෝජකයන්, REIT අරමුදල් සහ තායිලන්තයේ සිටින විදේශ ආයෝජකයන් ඉලක්ක කරගෙන පැවැත්වෙන මෙම සමුළුවෙහි අරමුණ වන්නේ, කොළඹ වරාය නගරයෙහි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීම ය.

කොළඹ වරාය නගරය සැලසුම් කර ඇත්තේ සේවාවන් මුල්කරගත් ජාත්‍යන්තර විශේෂ ආර්ථික කලාපයක් සහ මූල්‍ය හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක් වශයෙනි. දකුණු ආසියාවේ ක්‍රමෝපායික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක් වන ශ්‍රී ලංකාවෙහි, කොළඹ ව්‍යාපාරික දිස්ත්‍රික්කයට සම්බන්ධ වන පරිදි සාගරය ගොඩකර එය ඉදිකර තිබේ. හෙක්ටයාර 269 ක භූමියක් වන කොළඹ වරාය නගරය සඳහා සිදුකරනු ලබන සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 20 කි.

ශ්‍රී ලංකා රජය සහ CHEC Port City Colombo (පුද්.) සමාගම එක්ව, රාජ්‍ය-පෞද්ගලික-හවුල් ව්‍යාපාර රාමුවක් යටතේ සංවර්ධනය කරන ලද කොළඹ වරාය නගරයෙහි නීති හා රෙගුලාසි සම්පාදනය කර ඇත්තේ, ව්‍යාපාරික ක්‍රියාකාරකම් වඩාත් පහසු වන පරිද්දෙනි. මෙය ජාත්‍යන්තරව පිළිගත් නීතිමය රාමුවක් වන අතර, එය කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මගින් ස්වාධීනව පරිපාලනය කරනු ලබයි.

ඉදිකිරීම් අවසන් වූ පසුව කොළඹ වරාය නගරය, ව්‍යාපාර කටයුතු වලට මෙන්ම ජීවත් වීමටද ඉතා සුදුසු, නවීන, පිරිසර හිතකාමී සහ සුහුරු (Smart) නගරයක් බවට පත්වනු ඇත. මෙහි ජනගහනය 273,000 ක් සහ ගොඩනැගිලි වල ප්‍රමාණය වර්ග මීටර මිලියන 6.3 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය මූලික මට්ටමින් දේපළ සංවර්ධකයින්ගේ  ආයෝජන සඳහා සහ, ද්විතීයික මට්ටමින් මූල්‍ය සේවා, නැව්ගත කිරීම් සහ කාර්ය සම්පාදන සේවා, තොරතුරු තාක්ෂණ සේවා, ව්‍යාපාර සේවා බැහැරදීම් (BPO), කලාපීය වාණිජ මූලස්ථාන සහ සංචාරක සේවා වැනි ප්‍රධාන සේවා ක්ෂේත්‍රවල ආයෝජන සඳහා විවෘත වනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව