ඕෆන්කෙයාර් (OrphanCare) වැඩසටහන අඛණ්ඩව 8 වන වරටත් ප්‍රතිලාභී දරුවන් වෙනුවෙන් අරමුදල් බැර කරයි

Webp.net-resizeimage




 

අමානා බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන ඕෆන්කෙයාර්  වැඩසටහන, අඛණ්ඩව 8වන වරටත් ප්‍රතිලාභී දරුවන් වෙනුවෙන් අරමුදල් ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් මතු වී ඇති දුෂ්කරතා හමුවේ පවා සෑම කාර්තුවකදීම මෙම අරමුදල් ප්‍රදානය සිදුකිරීමට ඕෆන්කෙයාර්  වැඩසටහන පියවර ගෙන ඇත. 2019 වසරේදී ආරම්භ වූ  මෙම වැඩසටහන මේ වනවිට දිවයින පුරා ළමා නිවාස 80 කට අධික සංඛ්‍යාවක වෙසෙන දරුවන් 3,000 කට වැඩි පිරිසක් වෙනුවෙන් අරමුදල් ප්‍රදානය කර තිබේ.

මේ ආකාරයට ක්‍රමානුකූලව මුදල් ප්‍රදානය කිරීමට අමතරව, දෙමාපියන් අහිමි දරුවන් අතරින් වයස අවුරුදු 18 ට සම්පූර්ණ වූ දරුවන් හඳුනාගෙන, ඔවුන්ගේ අනාගතයට විධිමත් අත්වැලක් සැපයීමේ වැඩසටහනක්ද ඕෆන්කෙයාර්  වැඩසටහන මගින් ක්‍රියාවට නංවා ඇත. මෙම දරුවන්ගේ අධ්‍යාපන මට්ටම, භාෂා කුසලතා සහ අනාගත වෘත්තීය අපේක්ෂාවන් යනාදී සාධක අනුව, ඔවුන් පෞද්ගලික හා ආයතනික පරිත්‍යාගශීලීන් සමග සම්බන්ධ කිරීම මේ යටතේ සිදුකෙරේ. මේ දක්වා අමානා බැංකුව මෙබඳු දරුවන් 30 කට අධික පිරිසකට තාක්ෂණික උපකරණ, රැකියා අවස්ථා, උසස් අධ්‍යාපන අනුග්‍රාහකත්වයන් සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අවස්ථා පිරිනමා ඇත.

රටේ පවතින බරපතළ ගැටලුවක් වන, එහෙත් ප්‍රමාණවත් ලෙස සාකච්ඡාවට ලක් නොවන, රැකවරණය අහිමි දරුවන් පිළිබඳ ගැටලුවට පිළියමක් යෙදීමේ අරමුණින්, ස්වාධීන භාරයක් ලෙස ඕෆන්කෙයාර්  වැඩසටහන ආරම්භ කරන ලදි. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසුව මෙම දරුවන්ට ළමා නිවාස වලින් නික්ම යාමට සිදුවන අතර, ඉන් ඉදිරියට ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය අත්වැල ලබාදීම ඕෆන්කෙයාර්  වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ. මෙම අරමුණ ඉටුකර ගැනීමේදී අතිශයින් වැදගත් සාධකයක් වන අරමුදල් සම්පාදනය කිරීමට ඕෆන්කෙයාර්  වැඩසටහන කටයුතු කරයි. මෙම දරුවන්ට වයස අවුරුදු 18 පිරෙන තුරු ඔවුන්ගේ ගිණුම් වලට මුදල් බැරකරනු ලබන අතර,  ඉන් අනතුරුව ඔවුන්ට එම මුදල් ලබාගත හැකි වේ. මෙම වැඩසටහනට අදාළ සියලුම පරිපාලන හා මෙහෙයුම් වියදම් අමානා බැංකුව මගින් දරනු ලබන නිසා, වැඩසටහනට පරිත්‍යාග කරනු ලබන සියලුම මුදල් කිසිදු අඩුවකින් තොරව ප්‍රතිලාභී දරුවන් වෙත යොමු වීම මෙහි ඇති විශේෂත්වයකි.

“මේ අභියෝගකාරී කාලසීමාව තුළ මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා හමුවේ පවා අඛණ්ඩව 8 වන වරටත් මෙම දරුවන් වෙනුවෙන් මුදල් ප්‍රදානය කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. ඒ වෙනුවෙන්, මෙම වැඩසටහනට දායකත්වය ලබාදෙන පරිත්‍යාගශීලීන්ටත්, නන් අයුරින් සහය දෙන අනෙකුත් සියලුම දෙනාටත්, මෙම වැඩසටහනට නායකත්වය හා මගපෙන්වීම ලබාදෙන අපගේ භාරකාර මණ්ඩලයටත් මගේ ස්තූතිය පළකර සිටිනවා.” ඕෆන්කෙයාර්  වැඩසටහනේ ප්‍රධානී අසාද් සහීඩ් මහතා පැවසී ය.

‘ඕෆන්කෙයාර් ’ වැඩසටහන යටතේ දරුවන්ට ප්‍රතිලාභ සැලසීමේදී, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ දෙවන වගන්තිය අනුව, දරුවන්ගේ, දෙමාපියන්ගේ හෝ නෛතික භාරකරුවන්ගේ ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන හෝ වෙනත් මතවාද, ජාතික හෝ සමාජයීය පදනම, දේපළ, ආබාධිත බව, උපත හෝ වෙනත් කිසිදු සාධකයක් සැලකිල්ලට නොගැනේ. මේ වනවිට ඕෆන්කෙයාර්  වැඩසටහන දේශීය හා ජාත්‍යන්තර සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Global Banking  & Finance සම්මාන උළෙලේදී අමානා බැංකුව වෙත වසරේ විශිෂ්ටතම ආයතනික ප්‍රජා සත්කාර බැංකුව ලෙස සම්මාන හිමිවීම, SLIBFI සම්මාන උළෙලේදී විශිෂ්ටතම සමාජ අභිවෘද්ධි සම්මානය හිමිවීම, දකුණු ආසියාව පදනම් කරගත් IFFSA සම්මාන උළෙලේදී විශිෂ්ටතම ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය සඳහා සම්මාන හිමිවීම සහ ඕමානයේ මස්කට් හි පැවති IRB සම්මාන උළෙලේදී වසරේ සමාජයීය වශයෙන් වගකීම් සහගත බැංකුව ලෙස සම්මාන හිමිවීම, ඕෆන්කෙයාර්  ව්‍යාපෘතියේ සාර්ථකත්වයට පැහැදිලි සාක්ෂි ලෙස පෙන්වා දිය හැකි වේ.

සමාජ සේවාවන් සම්බන්ධයෙන් ඉමහත් උනන්දුවක් හා පළපුරුද්දක් සහිත ප්‍රවීණයෝ පිරිසක් ඕෆන්කෙයාර්  හි පරිපාලනය භාරව කටයුතු කරති. එම ප්‍රවීණයන් වන්නේ සභාපති රුස්ලි හුසේන් මහතා (ශ්‍රී ලංකා රොටරැක්ට් ව්‍යාපාරයේ නිර්මාතෘ), ඔස්මාන් කාසිම් මහතා (අමානා බැංකුවේ නිර්මාතෘ- හිටපු සභාපති),  කේ. ආර්. රවීන්ද්‍රන් මහතා (ඇමරිකා එක්සත් ජනපදයේ රොටරි පදනමේ භාරකාර මණ්ඩලයේ සභාපති සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති), භාණ්ඩාගාරික රොහාන් තුඩාවේ මහතා (තුඩාවේ බ්‍රදර්ස් හි සභාපති), ශරාඩ් අමලියන් මහතා (මාස් හෝල්ඩින්ස් සමාගමේ සම නිර්මාතෘ), තයිබ් අක්බරලි මහතා (අක්බාර් බ්‍රදර්ස් හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ), හර්ෂ අමරසේකර මහතා (ජනාධිපති නීතීඥ), දේශබන්දු තිලක් ද සොයිසා මහතා (Helpage Sri Lanka සභාපති), ජස්රි මැග්ඩන් මහතා (AAT හි හිටපු සභාපති) සහ මොහොමඩ් අස්මීර් මහතා (අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී) යන මහත්වරුන් ය. ‘ඕෆන්කෙයාර්’ වැඩසටහනේ විශ්වාසනීයත්වය හා තිරසාරත්වය සහතික කිරීම සඳහා එහි භාරකරුවන් විසින් ශක්තිමත් පාලන රාමුවක් ස්ථාපිත කර තිබේ.

මෙම උදාර මෙහෙවර සමග එක් වී දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමට දායක වන මෙන් ඕෆන්කෙයාර්  වැඩසටහනේ ප්‍රධානී අසාද් සහීඩ් මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී. ඕෆන්කෙයාර් වැඩසටහනේ සංස්ථා ප්‍රකාශය සහ අනෙකුත් තොරතුරු www.amanabank.lk/orphan-care හි දක්වා ඇති අතර, 011 775 6 775 අංකයෙන් ඕෆන්කෙයාර්  ලේකම් කාර්යාලය ඇමතීමෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව