අමානා බැංකුවේ ඩිලාන් ජෝසෆ් ශ්‍රී ලංකාවේ Toastmasters ශූරයා බවට පත්වෙයි

Amãna Bank’s Toastmaster (TM) Dilan Joseph

 




 

 

අමානා බැංකුවේ ඩිලාන් ජෝසෆ්, පසුගියදා අතථ්‍ය (Virtual) ලෙස පවත්වන ලද Toastmasters District 82 International Speech Contest හිදී ශ්‍රී ලංකාවේ Toastmasters ශූරයා බවට පත්වීමට සමත් විය. ඒ අනුව ඔහු ඉදිරියේදී පැවැත්වීමට නියමිත Region 13 අර්ධ අවසන් පූර්ව තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.

මීට පෙර Club, Area සහ Division මට්ටම් වලදී ජයග්‍රහණය ලබමින් ඉදිරියට ආ ඩිලාන් ජෝසෆ් මෙරට Divisions 8 ක ආයතනික හා ප්‍රජා සමාජ 179 ක සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලද අවසන් තරගයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේ ය. ‘The Gap’ යන තේමාව යටතේ, තමන් කවුරුන්ද යන්න නිවැරදිව තෙරුම්ගෙන ඒ අනුව ජීවත් වීමේ වැදගත්කම අවධාරණය කළ ඩිලාන්ගේ කථාව කාගේත් සිත් ඇදගැනීමට සමත් විය.

ලෝක ශූරයා බවට පත්වීමේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින් ඩිලාන් ජෝසෆ් ඉදිරියේදී ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය, වියට්නාමය, සිංගප්පූරුව, සහ මැලේසියාව යන රටවල ශූරයන් සමගින් Region 13 අර්ධ අවසන් පූර්ව තරගයට එක්වනු ඇත. Toastmasters International හි District 82 යනු ප්‍රසිද්ධ කථිකයන් බිහිකරන තෝතැන්නක් ලෙස සැලකෙන අතර, වසර 7 ක් වැනි කෙටි කාලයක් තුළ ශූරයන් 3 දෙනෙකු බිහිකිරීමට සමත් වී තිබේ. මේ අතරට, ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ එකම ලෝක ශූරයා වන ධනංජය හෙට්ටිආරච්චිද ඇතුළත් ය.

අමානා බැංකුවේ පාරිභෝගික බැංකුකරණ ඒකකයට අනියුක්තව, ‘ කළමනාකරු – ඩිජිටල් පාරිභෝගික අත්දැකීම්’ ලෙස කටයුතු කරන ඩිලාන් ජෝසෆ්, අමානා බැංකුවේ Toastmasters Club හි වර්තමාන සභාපතිවරයාද වේ. මෙම ජයග්‍රහණයට පෙර ඩිලාන් ජෝසෆ් 2018 වසරේ පැවති Division F Humorous Speech Competition ද ජයගැනීමට සමත් විය.

“ඩිලාන්ගේ ජයග්‍රහණය අප ලැබූ ගෞරවයක්. එමෙන්ම මෙය, සිහින සැබෑ කර ගැනීමේදී වෙහෙස මහන්සියෙන් හා කැපවීමෙන් වැඩ කිරීමේ වැදගත්කම පෙන්වා දෙන හොඳ උදාහරණයක් කියා මා විශ්වාස කරනවා. 2015 වසරේදී අමානා බැංකුවේ Toastmasters Club සමග එක්වූ ඩිලාන් එතැන් පටන් එහි ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් කථික තරග රැසකින් ජයගැනීමට සමත් වූවා. ඉදිරියේදී පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී ඔහු තරග වදින්නේ මුළුමහත් ශ්‍රී ලංකාවම නියෝජනය කරමිනුයි. අමානා බැංකුව වෙනුවෙන් මා ඔහුට හදවතින්ම සුබපතන අතර, ඔහුගේ ලොකුම බලාපොරොත්තුව වන ලෝක ශූරතාව දිනාගැනීමට ඔහුට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.” අමානා බැංකුවේ මානව සම්පත් ප්‍රධානී ෆර්හාන් රෙෆායි මහතා පැවසී ය.

“මෙම තරගය ජය ගැනීමට ලැබීම මා ලද භාග්‍යයක්. එමෙන්ම, දිස්ත්‍රික් මට්ටමේදී හා සමාජ මට්ටම් වලදී තරග කළ අනෙකුත් සියලුම දෙනාටත් සුබපැතීමට මා කැමතියි. මේ ගමනේදී අමානා බැංකුව සහ එහි Toastmasters Club මට විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ වෙනුවෙන් මගේ හදපිරි ස්තූතිය ඔවුන්ට හිමි වෙනවා. Toastmasters යනු සාර්ථක සන්නිවේදකයන් සහ නායකයන් බවට පත්වීමට බොහෝ දෙනෙකු සවිබල ගන්වන වැඩසටහනක්. එම වැඩසටහනින් ප්‍රයෝජන ලබමින් දිගු දුරක් පැමිණීමට මා සමත් වී ඇති බව මා කියන්නේ නිහතමානී සතුටකින්.” ඩිලාන් ජෝසෆ් පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව