ස්ටාර් ගාමන්ට්ස් සමූහය, සිය පාරිසරික ජෛව විවිධත්වය නංවාලීමේ වැඩසටහන වේගවත් කරයි

1- Star and officials (LBN)

වි‍ශේෂඥයින් පවසන ආකාරයට වර්ෂ 2030 වනවිට ලෝකයේ වැසි වනාන්තර ප්‍රතිශතය සියයට 10ක් දක්වා අඩුවීමට ඉඩ ඇති පසුබිමක, ශ්‍රී ලංකාවේ ද මේ වනවිට වාර්ෂික වනාන්තර විනාශය හෙක්ටරයාර 8,000ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් ස්ටාර් ගාමන්ට්ස් සමූහය තම ඇඟලුම් කර්මාන්තශාලා සහ කාර්යාල ආශ්‍රිත පරිසරයේ ජෛව විවිධත්වය ඉහළ නැංවීම වෙනුවෙන් පියවර ගෙන තිබේ.

ස්ටාර් ගාමන්ට්ස් සමූහය සිය පාරිසරික ජෛව විවිධත්වය නංවාලීමේ වැඩසටහන ආරම්භ කළේ 2023 වසරේ ලෝක මුහුදු තණ දිනයට සමගාමීව ය. ඒ අනුව ඉස්සන් වගාව නිසා හානියට පත්ව ඇති හලාවත, පුත්තලම සහ ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් රක්ෂිතය ආශ්‍රිත හෙක්ටයාර 3ක කඩොලාන නැවත වගාකිරීමට සමාගම මුලපුරන ලදී.
 



 

මෙම පරිසර සංරක්ෂණ වැඩසටහන වෙනුවෙන් ස්ටාර් ගාමන්ට්ස් සමූහය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, වනජීවී හා ස්වභාව ආරක්ෂණ සමාජය (WNPS), සහ වයඹ විශ්ව විද්‍යාලය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ හරහා නිසි විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරමින් කඩොලාන ස්වභාවික නැවත වගාව වේගවත් කිරීමට හැකිවී ඇත. මෙම ව්‍යාපෘතිය 2024 වසරේ UN Decade of World Restoration Flagship සම්මානයෙන් ද පිදුම් ලැබීම කැපීපෙනේ.

ව්‍යාපෘතිය ආරම්භයේදී මුඩු භාවයට පත්ව ඇති භූමිය වෙත ජලය ගෙන ඒම සඳහා මත්ස්‍ය අස්ථි පද්ධතියේ හැඩය ගත් ඇළ මාර්ග නිර්මාණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව අතින් සිදුවිය. දෙවැනි අදියර යටතේ නව පරිසර පද්ධතියේ කඩොලාන පැළ 500ක් වගා කිරීමට ස්ටාර් ගාමන්ට්ස් සමූහය කටයුතු කළේය.

වර්තමානයේදී ශ්‍රී ලංකාව සතු සමස්ත කඩොලාන ප්‍රමාණය හෙක්ටරයාර 15,000-19,000ත් අතර පවතියි. එය රටේ සමස්ත භූමියෙන් සියයට 0.3ක් තරම් අවම අගයක් ගනියි. මෙනිසා දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම මෙන්ම කුණාටු සහ සුනාමි ආදී ස්වභාවික ව්‍යසනවල බලපෑමට ද ශ්‍රී ලංකාව වැඩිවශයෙන් ගොදුරුවන තත්ත්වයක් උදා වී ඇත. කඩොලාන මෙරට වනාන්තර පරිසර පද්ධතියේ අතිශය වැදගත් කොටසක්වන අතර දිවයිනේ සමස්ත වනාන්තර ප්‍රමාණයෙන් සියයට 2ක් කඩොලාන වේ. රටේ සමස්ත වනාන්තරවලින් සියයට 17ක්, වේගයෙන් විනාශ වෙමින් පවතින ප්‍රාථමික වනාන්තරවන අතර එහි කැපීපෙනෙන ප්‍රතිශතයක් කඩොලානවලට හිමි ය.

මුහුදුබඩ සහ සමුද්‍රීය පරිසර පද්ධතිය පොදුවේ නිල් පැහැ වනාන්තර ලෙස හැඳින්වෙන අතර ඊට කඩොලාන වනාන්තර, මුහුදු තණබිම් සහ මුහුදු වැලි වැටි ආදිය අයත් වේ. මෙම නිල් පැහැ වනාන්තර පද්ධතියට සාමාන්‍ය නිවර්තන වැසි වනාන්තරයකට මෙන් දස ගුණයක කාබන් ඩයොක්සයිඩ් වායු ධාරිතාවක් රඳවාගත හැකි අතර එනිසාම දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුමට මුහුණ දීමේදී අතිශය වැදගත් භූමිකාවක් එය සතුය. එමෙන්ම රට ස්වභාවික ආපදාවලින් ආරක්ෂා කරගැනීමට ද මෙම පරිසර පද්ධතියෙන් ලැබෙන සහාය සුළුපටු නොවේ. මුහුද ආශ්‍රිත ජනතාවගේ ජීවනෝපාය වෙනුවෙන් ද කඩොලාන පරිසරයෙන් ලැබෙන්නේ මහත් පිටිවහලකි.

අනූව දශකයේ අග භාගයේදී ඉස්සන් වගාකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධතියෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්විය. ඒ සමඟ කඩොලාන පරිසරය හරහා තම ජීවිකාව සරිකරගත් එනම්, ධීවරයින්, දර ඉන්ධන සපයන්නන්, ශාක ඖෂධ සපයන්නන් සහ සංචාරක ව්‍යාපාරයේ නිරත වන පිරිස් ඇතුළු විශාල ජනතාවක් දුෂ්කරතාවට පත්විය. ශ්‍රී ලංකාව සතු රැම්සා තෙත් බිම් රක්ෂිත හයෙන් එකක්වන ආනවිලුන්දාව තෙත් බිම ද එසේ දැවැන්ත හානියකට මුහුණදුන් ස්ථානයකි. එය දේශීය සහ සංක්‍රමණික පක්ෂි විශේෂ 150කට වැඩි ප්‍රමාණයකට ද, ක්ෂීරපායී විශේෂ 20කට ද, සමනළ විශේෂ 70කට වැඩි සංඛ්‍යාවකට ද නිවහන වේ. තව ද මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් ද ආනවිලුන්දාවේදී දැකගත හැක.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව