Intrepid, MDF සහ සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ප්‍රථම ‘සංචාරක ව්‍යාපාරයේ කාන්තාවෝ‘ පුහුණු සැසිය පවත්වයි

1. Women in Tourism training in Kandy (LBN)

ලෝක සංචාරක දිනයට සමගාමීව Intrepid Colombo විසින් සංවිධානය කරන ලද “Women in Tourism” (සංචාරක කර්මාන්තයේ කාන්තාවෝ) නම් විශේෂ පුහුණු සැසිය සැප්තැම්බර් 14 වැනිදා මහනුවරදී සාර්ථක ලෙස පැවැත්වුණි. විවිධ ක්ෂේත්‍ර පුරා තිරසර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක Market Development Facility (MDF) වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කැපවී ක්‍රියාකරන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ද මෙම පුහුණු සැසිය වෙනුවෙන් සිය සහයෝගය ලබාදීම කැපීපෙනුණි.

මෙම පුහුණු සැසියට සහභාගී වීම සඳහා අයදුම් කර තිබුණු අපේක්ෂකයින් 45 දෙනෙකු අතුරින් සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කිරීමේ අභිලාෂයෙන් පසුවන දක්ෂ කාන්තාවන් 11 දෙනෙකු මෙම පුහුණු සැසියට එක්ව සිටියට. මධ්‍යම පළාත නියෝජනය කරන ඔවුන් විවිධ පසුබිම් නියෝජනය කරන පිරිසක් වීම ද කැපීපෙනුණි. පුහුණු සැසියේදී සංචාරක කර්මාන්තයට එක්වීමට අවශ්‍ය කුසලතා, දැනුම මෙන්ම ආත්ම විශ්වාසය පිළිබඳව ද අවබෝධයක් පිරිනැමුණි.
 



 

මෙම පුහුණු සැසිය මගේ ජීවිතේ වෙනස් කළ වැඩසටහනක්. සංචාරක කර්මාන්තය වෙනුවෙන් උනන්දුවක් දක්වන අපි වගේ තරුණියන් පිරිසක් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කිරීම ගැන අපි Intrepid ආයතනයට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. හුදෙක් සංචාරක මාර්ගෝපදේශකයෙක් වීමෙන් ඔබ්බට ගොස් අපේ ආත්ම විශ්වාසය ගොඩනඟාගැනීමටත්,  සමාජ බාධක බිඳගනිමින් නැඟී සිටින්නටත් මෙම පුහුණුව හරහා අපට විශාල ධෛර්යයක් ලැබුණා. සමාජය තුළ අනෙකුත් කාන්තාවන්ටත් ආදර්ශයක් හිමිවන අයුරින් ක්‍රියාත්මක කිරීමට මට දැන් පුළුවන්, යනුවෙන් පුහුණු සැසියට සහභාගී වූ එක් සාමාජිකාවක් ප්‍රකාශ කළාය.

ඉදිරියේදී මෙම පුහුණු වැඩසටහන දිවයිනේ සෙසු පළාත්වලට ද ගෙනයාමට සැලසුම් කර තිබේ. සියලුම පුහුණු සැසි අවසානයේදී ඒ අතුරින් තෝරාගන්නා 10 දෙනෙකුට ජාතික සංචාරක මාර්ගෝපදේශන බලපත්‍රයක් ලබාගැනීම වෙනුවෙන් ශිෂ්‍යත්වයක් හිමිවන අතර Intrepid හි ප්‍රමුඛතම සංචාරක මාර්ගෝපදේශකයින්ගේ ලැයිස්තුවට ද ඇතුළත් කර ගැනේ.

අපගේ දැක්ම වන්නේ කාන්තාවන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන සියලුදෙනා ඒකාබද්ධ කරගත් සංචාරක කර්මාන්තයක් ගොඩනැඟීමයි. සංචාරක කර්මාන්තය තුළ කාන්තාවන් සවිබලගැන්වීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය අභිවෘද්ධියට අමතරව සංචාරකයින්ගේ සමස්ත සංචාරක අත්දැකීම වැඩිදියුණු කිරීමටත් අවකාශය උදාවෙනවා. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී එමගින් දිවයිනේ සියලු ප්‍රජාවන් අතර ධනාත්මක වෙනසක් ඇතිකිරීමටත්, මෙරට සංචාරක කර්මාන්තය තුළ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීමටත් හැකිබව අපට විශ්වාසයි, යනුවෙන් Intrepid හි ශ්‍රී ලංකා සාමාන්‍යාධිකාරී පූර්ණක දැල්පචිත්‍ර මහතා පැවසුවේය.

මේ අතර MDF හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා මේරියන් පිරාචා මහත්මිය පැවසුවේ Intrepid Sri Lanka සහ ඕස්ට්‍රේලියාවේ MDF වැඩසටහන අතර සහයෝගීතාවයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ පළාත් සභාවල සහායෙන් ද යුතුව සංවිධානය කෙරෙන මෙම පුහුණු සැසි හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ කාන්තාවන් කේන්ද්‍ර කරගත් සංචාරක සැපයුම් දාමයක් ආශ්‍රිත නව ව්‍යාපාර අවස්ථා බිහිකිරීමට හැකිවන බව ය. ″සංචාරක කර්මාන්තය තුළ වැඩි කාන්තා සහභාගීත්වයක් නිර්මාණය කිරීම තුළින් ශ්‍රම හිඟයට පිළියමක් සැපයීමට මෙන්ම සියලු දෙනා ඒකාබද්ධ කරගත් වර්ධනීය අවස්ථාවන් බිහිකිරීමටත් අවස්ථාව උදා වෙනවා. ඒ අනුව අපි පළමු වරට සංවිධානය කරන ලද මෙම මධ්‍යම පළාතේ පුහුණු සැසියට ලැබුණු සහභාගීත්වය සහ ප්‍රතිචාර සමඟින් අපි ඉදිරියටත් Intrepid සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සෙසු පළාත්වලත් මෙම පුහුණු සැසි සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙනවා, ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

 මෙවැනි පුහුණු වැඩසටහන් හරහා සංචාරක මාර්ගෝපදේශනය තුළ පවතින කාන්තා ශ්‍රම හිඟතාවයට විසඳුම් හිමිවන අතරම, සමස්තයක් ලෙස සංචාරක කර්මාන්තයේ කාන්තාවන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට සහ සවිබලගැන්වීමට හැකිවෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය තුළ ඔවුන් සිදුකරන සුවිසල් මෙහෙය පිළිබඳ දැනුවත් භාවය වැඩිකිරීමටත් පොදුවේ සමාජයට විශාල ප්‍රතිලාභ රැසක් ජනනය කිරීමටත් අවකාශ උදාවෙනවා, යනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය විශාල වර්ධනයක් අත්කරගනිමින් පවතින මේ මොහොතේ ඒ වෙනුවෙන් කාන්තාවෝ ද දැවැන්ත කාර්යභාරයක් ඉටුකරති. කෙසේනමුත් සමස්තයක් ලෙස සංචාරක කර්මාන්තය තුළ ඔවුන්ගේ ශ්‍රම සහභාගීත්වය සියයට 10කටත් අඩු ප්‍රතිශතයක් ගන්නා අතර, ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයින් අතර කාන්තා සහභාගීත්වය සියයට 3ක් තරම් පහළ අගයක් ගනී. එවන් පසුබිමක “Women in Tourism” වැනි වැඩසටහන් හරහා සංචාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය වැඩිදියුණු කිරීමට මහත් පිටුවහලක් හිමිවේ. විශේෂයෙන්ම සමාජයේ මුල්බැසගත් සාම්ප්‍රදායික බාධා මැඬගනිමින් සංචාරක කර්මාන්තයේ නායකත්ව කාර්යභාරයක් ඉටුකිරීමට කාන්තාවන්ට ඉඩප්‍රස්ථා හිමිකරදීම වෙනුවෙන් Intrepid සිදුකරන මෙහෙය ද මෙම වැඩසටහන හරහා කැපීපෙනේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව