DH Ceylon Energy සමාගම මෙගාවොට් 110ක ධාරිතාවකින් යුතු ඇපලෝ ව්‍යාපෘතිය දියත් කරයි

DH Ceylon Energy (LBN)

Ceylon Energy සහ සිංගප්පූරුවේ DH Energy යන සමාගම්වලට අනුබද්ධ සමාගමක් වන DH Ceylon Energy සහ Southern Nexus යන සමාගම්වල හවුල්කාරිත්වයෙන් හම්බන්තොට ප්‍රදේශයේ මෙගාවොට් 110ක ධාරිතාවකින් යුතු සූර්ය බල ව්‍යාපෘතියක් ඇපලෝ නමින් ඇරැඹීමට පසුගියදා ගිවිසුම් අත්සන් කරන ලදී. අමෙරිකානු ඩොලර් මිලියන 82ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයකි.
 



 

මෙය ගොන්නෝරුව සූර්ය විදුලි බල උද්‍යානයේ පිහිටවනු ලබන, මෙගාවොට් 110ක ධාරිතාවකින් යුතු, භූමිය මත සවි කරනු ලබන අති නවීන සූර්ය බල ව්‍යාපෘතියකි. මෙමඟින් පවුල් දහස් සංඛ්‍යාවකට විදුලි බලය සැපයෙනු ඇත. ජාතික විදුලි බල පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා විශාල දායකත්වයක් සපයන මෙම සූර්ය බල ව්‍යාපෘතිය දේශීය සහ විදේශීය වශයෙන් බල ශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගවලට විසඳුම් දීමට DH Ceylon Energy සමාගම සතු කැපවීම වඩාත් තහවුරු කරමින් කාබන් දහනය අවම කිරීමටද කැපී පෙනෙන දායකත්වයක් සපයයි.

හුදු සූර්ය බල ව්‍යාපෘතියක් ලෙස ලඝු කළ නොහැකි ඇපලෝ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා වන පුළුල් දැක්ම පිළිබිඹු කරන්නකි. මෙය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය විසින් අනුමත කරන ලද “2023 සිට 2026 දක්වා ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බල ශක්ති මූලාශ්‍ර ඒකාබද්ධ කිරීම සඳහා වන ගමන් මඟ” යන වාර්තාවේ අන්තර්ගත වන FL ව්‍යාපාර මොඩලයේ කොටසකි. මේ තුළින් ස්වාධීන බල ශක්ති ක්ෂේත්‍රයක් ඇති කිරීම සහ තිරසාර බව තහවුරු කිරීම සඳහා වන වැඩපිළිවෙල ශක්තිමත් කරමින් මෙරට ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බල ශක්ති මූලාශ්‍ර වේගයෙන් ඒකාබද්ධ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇපලෝ ව්‍යාපෘතිය පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රය පිළිබඳ රජයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා සෘජුව දායක වීමට නියමිතය. 2030 වසර වන විට මෙරට විදුලි අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බල ශක්තිය තුළින් ජනනය කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර මෙගාවොට් 110ක ධාරිතාවකින් යුතු මෙම ව්‍යාපෘතිය එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇත. මේ හරහා පෞද්ගලික ව්‍යවසාය සහ රජය අතර එකඟතා තුළින් වඩාත් තිරසාර බල ශක්ති ක්ෂේත්‍රයක් ඇති කරනු ලබයි.

ඇපලෝ ව්‍යාපෘතිය තුළින් පාරිසරික වාසි රැසක්ද සැළසේ. මේ තුළින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වාර්ෂිකව ටොන් 1,821,600කින් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය වාර්ෂිකව වාහන දහස් ගණනක් ධාවනයෙන් ඉවත් කිරීමට සමාන වේ. මේ තුළින් වසර 20ක් තුළ ටොන් 36,432,000ක පමණ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වළක්වා ගැනීමට හැකියාව ලැබේ. මෙය මෙරට ඇති වන දේශගුණික විපර්යාසවල බලපෑම අවම කර ගැනීමට අනාගතයේදි සුවිශාල දායකත්වයක් දක්වනු ඇත.

හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ලොව පුරා රටවල් විශාල අවධානයක් යොමු කරන පසුබිමක කාබන් දහනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා ව්‍යායාමයේ හැරැවුම් ලක්ෂ්‍යයක් ලෙස ඇපලෝ ව්‍යාපෘතිය හැඳින්විය හැකිය. ඒ තුළින් පාරිසරික බලපෑම අවම කරන අතර සමාජ සහ ආර්ථික වාසි ඉහළ නැංවීම සඳහා DH Ceylon Energy සමාගම දක්වන කැපවීම විදහා දක්වයි. “ඇපලෝ ව්‍යාපෘතිය කියන්නේ විදුලිය උත්පාදනය කිරීමෙන් ඔබ්බට ගොස් සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා තිරසාර අනාගතයක් බිහි කිරීමට දරන වෑයමක්.” Ceylon Energy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මදුසංක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. “මෙම ව්‍යාපෘතිය හරහා අපගේ ප්‍රජාවගේ සුබසිද්ධිය සඳහා සුවිශාල ආයෝජනයක් සිදු කරන්නටත්, අනාගත පරම්පරාවට තිරසාර බල ශක්තියේ ප්‍රතිලාභ අත් විඳින්නට අවස්ථාව සළසා දෙන්නටත් අපට හැකියාව ලැබෙනවා. එය ජනතාවගේ ජීවිත ආලෝකවත් කිරීම සහ තිරසාර බල ශක්ති මූලාශ්‍ර ලොව පුරා ප්‍රචලිත කිරීම ඉලක්ක කර ගත් අපගේ ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක්.”
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව