BPPL එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක දිගුකාලීන අරමුදලක් ලබා ගනී

Image 1 (1)




 

 

ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් (DFC) ඇමරිකානු ඩොලර් මිලියන 15 ක දිගුකාලීන අරමුදල් ලබා ගනිමින් ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ හැකියාවන් සහ යටිතල පහසුකම් ඉහළ නංවාලීම සඳහා ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන BPPL Holdings PLC සූදානම් වේ.

BPPL ප්ලාස්ටික් අපද්‍රව්‍ය එහි මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන මොනොෆිලමන්ට් සහ පොලියෙස්ටර් නූල් නිපදවීම පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද රජයේ සංවර්ධන මූල්‍ය ඒජන්සිය වන DFC වෙතින් රැස් කරන ලද අරමුදල් භාවිතා කරයි. මෙමගින් ශ‍්‍රී ලංකාව සඳහා වැඩි අපනයන ආදායමක් උපදවන අතරම රටේ තීරණාත්මක පාරිසරික ගැටලූවක් වන ප්ලාස්ටික් බැහැර කිරීමේ ගැටළුවට විසඳුම් ලබා දෙනු ඇත.

BPPL යනු අග්නිදිග ආසියාවේ විශාලතම බුරුසු නිෂ්පාදකයන්ගෙන් එකක් වන අතර ශ‍්‍රී ලංකාවේ එකම පොලියෙස්ටර් නූල් නිෂ්පාදකයාද වෙයි. එය අති නවීන නිෂ්පාදන තාක්ෂණයෙන් සහ තිරසාරභාවය සඳහා වූ නොසැලෙන කැපවීමෙන් කටයුතු කරයි. ඔවුන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර ඒවා බුරුසු, මොනොෆිලමන්ට් සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලබන අතර ඒවා සියල්ලම පාහේ අපනයනය කෙරේ. සමාගමේ මෑත කාලීන ප‍්‍රයත්නයන් ෆෝබ්ස් ඒෂියා වෙතින් 2021 දී ආසියාවේ ඩොලර් බිලියන 1 ට අඩු ආදායමක් ලබන ඉහළම සමාගම් 200 අතරට ශ්‍රේණිගත වීම වැනි සම්මාන කිහිපයක් දිනා ගෙන ඇත.

එමෙන්ම PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව සහ සමාගමේ බෝතල් සේදීමේ ධාරිතාව දෙගුණ කිරීම සඳහා සහ මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සඳහා නව අරමුදල් භාවිතා කරනු ලබන අතර ඉදිරි වසර 4-5 කාලය තුළ වාර්ෂිකව මොනොෆිලමන්ට් සහ පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය පිළිවෙලින් 40% සහ 55% කින් වැඩි කිරීමට නියමිතය.

දිවයිනේ අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමේ ජාලය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමට දරණ උත්සාහයන් සැලකිය යුතු සමාජ-ආර්ථික බලපෑමක් ඇති කරනු ඇත. දැනට BPPL සතුව ආසන්න වශයෙන් අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමේ ආයතන 480 ක් ඇත. මෙම සංවර්ධනයන් හරහා එම ආයතනද ප‍්‍රතිලාභ ලබන අතර ඔවුන්ගේ ජීවනෝපායන් සහ ආදායම ද ඉහළ නංවයි. DFC හි සහය හරහා BPPL මෙම ජාලය ද පුළුල් කිරීමට සූදානම් වන අතර ඒ හරහා සමාගම තුළ සහ ඉන් ඔබ්බට වැඩි රැකියා ප‍්‍රමාණයක් උත්පාදනය කරයි.

පාරිසරික වශයෙන් ගත් කල මෙම අරමුදල් හේතුවෙන් රට තුළ එක්රැස් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කොටස වසරකට ආසන්න වශයෙන් ටොන් 6,000 දක්වා වැඩි කරනු ඇති බව සමාගම සඳහන් කළේය. මෙමගින් අපද්‍රව්‍ය ප්ලාස්ටික් භාවිතය ඉහළ නංවන අතරම ප්ලාස්ටික් ගොඩකිරීම් හෝ ජල මූලාශ‍්‍රවල සිදීයාමෙන් සිදුවන පාරිසරික හානිය අවම කරයි.

”ලෝකයේ ප‍්‍රමුඛතම සංවර්ධන මූල්‍ය සපයන්නෙකුගෙන් මෙම අරමුදල් ලබා ගැනීමට ලැබීම BPPL හි සාර්ථකත්වය සහ ස්ථාවරත්වය මෙන්ම එහි මෙහෙවර අගය කිරීමක්.” යනුවෙන් BPPL Holdings PLC කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා පැවසුවේය. ”මෙය කාලෝචිත දායකත්වයක් වන අතර අපගේ මෙහෙයුම්වල බොහෝ ප‍්‍රධාන අංගයන් තවදුරටත් වැඩිදියුණු කිරීමට මෙය සහායක් වෙනවා. මෙම මුලපිරීම හරහා ඇති වන සංවර්ධනය රටට ආර්ථික, සමාජීය සහ පාරිසරික වශයෙන් ධනාත්මක ලෙස බලපානවා.” ලෙස එතුමා තවදුරටත් පැවසුවේය.

”BPPL හි DFC හි ආයෝජනය හරහා ශ‍්‍රී ලංකාවේ පරිවර්තනීය සහ තිරසාර සංවර්ධනයක් ඇති කරනවා. DFC හි මූල්‍යකරණය, BPPL හි ඔප්පු කළ කාර්යයසාධනය දේශගුණික අර්බුදය විසඳීම සඳහා වන දැක්ම ඉදිරියට ගෙන යාමට උපකාරී වන අතරම ආර්ථික වර්ධනය ද ඉහළ නැංවීමට හේතු වෙනවා.” යනුවෙන් ප‍්‍රධාන දේශගුණ නිලධාරී ජේක් ලෙවින් මහතා පැවසුවේය.

DFC විසින් සපයනු ලබන ණය සඳහා වසර තුනක සහන කාලයක් සහිත වසර 10ක භුක්ති කාලයක් ඇති අතර එය නියාමන අනුමැතියට යටත් වේ.




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව