“Sri Lanka Go Digital” සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ඩිජිටල්කරණයෙන් දිරිගන්වයි

Photo-1

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) විසින් සංවිධානය කරන ලද දිවයිනෙහි  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් (SME) ඩිජිටල්කරණය කිරීම සහ එහි වැදගත්කම පිළිබඳ අවධාරණය කිරීමේ සුවිශේෂී වැඩමුළුවක් “Sri Lanka Go Digital” මැයෙන් පසුගියදා නිමාවට පත් විය.

දිවයිනේ මධ්‍යම හා බස්නාහිර පළාත් ආවරණය කරමින් 2019 වර්ෂයේදී අඛණ්ඩව දෙවන වතාවටත් මෙම වැඩසටහන් මාලාව පැවැත්වුණු අතර දිවයින පුරා විසිරුණු ව්‍යවසායකයින් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයක් සනිටුහන් කරමින් පසුගියදා නිමාවට පත් විය. අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මෙම වැඩසටහන් මාලාව සඳහා දායකත්වය දැක්වූ අතර EDB හි සංවර්ධන හා ප්‍රාදේශීය නියෝජිතවරුන් 30කට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහන තුළින් ලබාගන්නා දැනුම ප්‍රජාව අතරට ගෙන යෑමේ අරමුණින් සහභාගී විය.

මෙහිදී නව තාක්ෂණය සිය ව්‍යාපාරයන්හි වර්ධනය සඳහා භාවිත කල හැක්කේ කෙසේද,  ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකාව තුළ පවතින තොරතුරු තාක්ෂණ සමාගම් මොනවාද සහ එම ව්‍යාපාර සඳහා තොරතුරු තාක්ෂණ සමාගම් වලට  දායකත්වය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සහභාගී වුවන්ට අවස්ථාව උදා විය. මෙම වැඩසටහන හරහා ලබා ගත් දැනුම තුළින්   කුඩා හා මධ්‍ය පරිමාණ තොරතුරු තාක්‍ෂණ සමාගම් වලට වෙනස්වන දේශීය වෙළඳපල ඉල්ලුම සඳහා සාර්ථකව නිෂ්පාදන/සේවා දියත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමද  හිමි විය.

ජාතික අපනයන උපායමාර්ග කලාප කරා ව්‍යාප්ත කිරීමටත් ඒ හා සම්බන්ධ ජාතික මට්ටමේ අනෙකුත් වැඩසටහන් හා සම්බන්ධ කිරීමටත් Sri Lanka Go Digital වැඩසටහන මහඟු කාර්යක් ඉටු කරන අතර එය දළ ජාතික අපනයන ද ඉහළ නැංවීමට උපකාරී වේ. තවද මෙම වැඩසටහන හරහා දේශීය තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයන් හට ගෝලීය ප්‍රමිතීන් කරා ළඟා වීම මඟින් ජාත්‍යන්තර තලය දක්වා ළඟා වීමට අවශ්‍ය සහයෝගයද ලබා දේ.  මෙම වැඩසටහනට සමගාමීව ICTA ආයතනය මඟින් දියත් කරන LEAP ශ්‍රී ලංකා වැඩසටහන මෙම ගෝලීය කරන ක්‍රියාවලිය සඳහා ව්‍යපාර සූදානම් කිරීමෙහිලා මහඟු කාර්යක් ඉටු කරයි.

2018 වසරේදී සාර්ථකව නිමා කරන ලද “Sri Lanka Go Digital’’  වැඩසටහනහි ප්‍රථම අදියර නැගෙනහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත් ආවරණය වන පරිදි කලාප හතරක් පුරා දියත් කෙරුණු  අතර මේ තුළින්  520කට අධික ව්‍යවසායකයින් පිරිසක් ඩිජිටල්කරණය පිළිබඳ දැනුමෙන් සන්නද්ධ කරන ලදී. මෙම වැඩසටහන සඳහා 115කට අධික කාන්තා ව්‍යවසායක නියෝජනයක් සහ 15කට අධික වෙනස් හැකියාවන් සහිත පිරිසකගේ සහභාගීත්වයක් පෙන්නුම් කිරීම සුවිශේෂී වන අතර එහිදී සියලුම පිරිස් හට ක්ෂේත්‍ර ප්‍රවීණයින්ගේ මර්ගොපදේශනය ලබා ගැනීමට අවස්ථාව හිමි විය.

වැඩසටහන තුළ ෆේස්බුක් සහ ගූගල් ව්‍යපාරික සංසදයන්  එක්ව පවත්වන ලද  ආකර්ෂණීය පුහුණු සැසි නිසා මෙම වසරේ වැඩසටහන කාගේත් අවධානයට යොමු වූ අතර එහිදී සහභාගී  වුවන්ට  ෆේස්බුක් සහ ගූගල් හා සම්බන්ධ ව්‍යාපාරික මෙවලම් භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ වටිනා අත්පොතක් ද හිමි විය. ශ්‍රී ලංකාව තුළ වූ SME සංවර්ධනය සඳහා වූ  අවස්ථාවන් පුළුල් කිරීමේ අරමුණින් තොරතුරු තාක්‍ෂණ සමාගම් 20 කට වැඩි ගණනකට නව ව්‍යවසායකයින් හා සම්බන්ධ වීමටද  අවස්ථාව හිමි විය.  මෙම වැඩසටහනේ තවත් සුවිශේෂීතාවයක් වනුයේ වැඩසටහන තුළදී ලබා ගත් දැනුම පරිහරණය කරන ආකාරය සහ එහිදී මතුවන ගැටළු පිළිබඳ වැඩසටහන් කාලය තුලදී  අදාළ කණ්ඩායම් විසින් සොයා  බලා පිළිතුරු සැපයීමයි.

දිනෙන්  දින වෙනස් වන තාක්ෂණය ශ්‍රී ලංකාව වැනි රටක් සඳහා බොහෝ අවස්ථාවන් නිර්මාණය කරනු ඇත. මේ හේතුවෙන්  වර්තමානයේ බොහෝ ව්‍යාපාරයන් ඩිජිටල්කරණය හා සම්බන්ධ වීමට වඩා නැඹුරුතාවයක් පෙන්නුම් කරන අතර එහිදී ඇතිවන ගැටළු මගහරවා ගනිමින් ඩිජිටල් ආර්ථිකයක් සඳහා වූ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම උදෙසා ICTA ආයතනය විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහ මනා පිටුවහලක් සලසයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව