
කොළඹ: හේමාස් අවුට්රීච් පදනම [Hemas Outreach Foundation (HOF)] මෙවර ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය වෙනුවෙන් සිය ‘එක සේ සලකමු’ සමාජ සත්කාර වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණි. එහි ප්‍රධානතම අංගය වශයෙන් ගාලු මුවදොරදී සරුංගල් සැණකෙළියක් පවත්වන ලදි. ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති ජාතික මධ්‍යස්ථානය (AYATI National Center for Children with Disabilities) සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ අරමුණ වූයේ, ඩවුන් සින්ඩ්‍රෝම් සමග ජීවත් වන දරුවන් සතුටු කිරීම සහ ඔවුන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමය.
සෑම වසරකම මාර්තු 21 වන දින ලොව පුරා ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරනු ලැබේ. එහි අරමුණ වන්නේ ඩවුන් සින්ඩ්‍රෝම් සමග ජීවත් වන දරුවන්ගේ ශක්තිය මෙන්ම ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව ලොවට සිහිපත් කිරීමය.
හේමාස් අවුට්රීච් පදනම විසින් සංවිධානය කරන ලද සරුංගල් සැණකෙළියට, ඩවුන් සින්ඩ්‍රෝම් තත්වයක් ඇතිවීමට බලපාන 21 වන වර්ණදේහයේ අමතර පිටපත නිරූපණය වන ආකාරයට තනන ලද සරුංගල් 100 ක් ඇතුළත් වී තිබිණි. දරුදැරියන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ හිතමිතුරන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහනේදී ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන් පිළිබඳව දැනුවත් වීමේ සහ ඔවුන්ට සමාන ලෙස සැලකීමේ වැදගත්කම විශේෂයෙන් අවධාරණය කෙරිණි. මෙම වැඩසටහන, ඩවුන් සින්ඩ්‍රෝම් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දුර්මත බිඳහෙළීමට සහ, ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ගේ නිර්භීතභාවය අගයමින් ඔවුන්ගේ ජීවිතවල ඇති සතුට ලොවට කියාපෑමට හේමාස් සමූහයට ලැබුණු මහඟු අවස්ථාවක් විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හේමාස් අවුට්රීච් පදනමේ සහ ආයති භාරයේ අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවේ, තමන් වෙනුවෙන් පැවැත්වෙන උත්සවයක සතුට අත්විඳීමට මෙම දරුවන්ට අවස්ථාව උදා කර දෙන අතරම, මෙම දරුවන්ගේ ජීවිතවල සත්‍ය ස්වභාවය ලොවට පෙන්වා දීම තම අරමුණ වූ බවයි. මෙවැනි වැඩසටහන් මගින් සමාජය තුළ විවිධත්වය, අන්තර්කරණය හා සහකම්පනය ඇතිවීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු වේ. සමාජයේ පවතින ගතානුගතික ආකල්පවලින් මිදෙමින්, මෙම දරුවන්ගේ ජීවිතවල ඇති සතුට සහ ඔවුන්ගේ හැකියාවන් තේරුම් ගැනීමට උත්සාහ කිරීම අතිශයින් වැදගත් බවද ශිරෝමි මාසකෝරාළ මහත්මිය මෙහිදී අවධාරණය කළාය.
හේමාස් අවුට්රීච් පදනම විසින් 2021 වසරේදී, ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන් උදෙසාම වෙන් වූ ප්‍රථම මධ්‍යස්ථානය වන ආයති භාරය සමග එක් වී ‘එක සේ සලකමු’ වැඩසටහන ආරම්භ කරන ලදි. එය මේ වන විට මෙරට තුළ ආබාධ සහිතව ජීවත් වන දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැපවුණු ප්‍රධානතම වේදිකාවක් බවට පත් වී ඇත. සමාජය තුළ ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් පවතින ගතානුගතික ආකල්ප පිටුදකිමින්, කාටත් සමාන ලෙස සලකන සමාජයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ගේ යහපත වෙනුවෙන් වඩාත්ම සක්‍රීය ලෙස කටයුතු කරන ක්‍රියාකාරිකයන්ගේ එකමුතුවක් ලෙස හැඳින්විය හැකි වේ.