ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමය, ප්‍රථම ජාතික අධ්‍යාපන සමුළුව සංවිධානය කරයි

3- Group Photo (LBN)

 



 

 

මෙරට උසස් අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීමෙහිලා සුවිශේෂී පියවරක් වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමය (Sri Lanka Association of Non-State Higher Education Institutes -SLANSHEI) 2023 නොවැම්බර් 28 වැනිදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ජාතික උසස් අධ්‍යාපන සමුළුවක් සංවිධානය කළේය. ජාත්‍යන්තර අධ්‍යාපනය (Transnational Education) මගින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇති සුවිශේෂී දායකත්වය කෙරෙහි සමුළුවේ කේන්ද්‍රීය අවධානය යොමුව තිබුණි.

ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමය, මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික උසස් අධ්‍යාපන කිහිපයක එකමුතුවෙන් 2016 වර්ෂයේදී ආරම්භ වූ අතර, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍යතා සොයාබැලීම සහ ඊට නායකත්වය සැපයීම මෙම සංගමය පිහිටුවීමේ අරමුණ විය. එහිදී රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රසාරණය කිරීම, එහි ගුණාත්මකභාවය සහ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම, විදෙස් සිසුන් ආකර්ෂණය කරගැනීම, පර්යේෂණ සිදුකිරීම සහ පර්යේෂණ ප්‍රතිඵල වර්ධනය කිරීම, අන්තර්ජාතිකකරණය ආදී පැතිකඩ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකෙරේ.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන් සිළු දැල්වීමෙන් ආරම්භ කෙරුණු ජාතික උසස් අධ්‍යාපන සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික්, බ්‍රිටිෂ් කවුන්සිලයේ අධ්‍යක්ෂ ඕලැන්ඩෝ එඩ්වඩ්ස්, Keele විශ්ව විද්‍යාලයේ ආචාර්ය අනිටා හෙයස්, Skills & Education Group හි ප්‍රධාන විධායක නිලධාරී පෝල් ඊලිස්, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ SLANSHEI සභාපති ආචාර්ය දයාන් රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ද එක්වූහ.

සමුළුව ආරම්භ කරමින් SLANSHEI සභාපති ආචාර්ය දයාන් රාජපක්ෂ මහතා, ජාත්‍යන්තර අධ්‍යාපනය මගින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකබව සහ විවිධත්වයට ඇති වැදගත් දායකත්වය පිළිබඳ විස්තර කළේය. තව ද භූගෝලීය සීමාවන් ඉක්මවා යමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සබඳතා ගොඩනඟාගැනීමට SLANSHEI හි කැපවීම ගැන ද ඔහු සඳහන් කළේය.

අනතුරුව සමුළුවේ අදහස් දැක්වූ මෙරට බ්‍රිටිෂ් කවුන්සිලයේ අධ්‍යක්ෂ ඕලැන්ඩෝ එඩ්වඩ්ස් මහතා, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකබව වැඩිදියුණු කිරීම සහ එහි ගෝලීය ආස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගීතාවන්හි වැදගත්කම පෙන්වා දුන්නේය.

සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ප්‍රධාන ආරාධිතයා වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනි. අධ්‍යයන විශිෂ්ටත්වයෙන් යුතු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සතු කැපවීම පිළිබඳව ඔහු කරුණු දැක්වූයේය. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන් කරා ගෙන යාමට සකස් කරන ලද ප්‍රතිපත්ති සහ නව වැඩසටහන් ගැන ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් විස්තර කළේය.

ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට උපදේශන සේවා සපයන Universities UK International (UUKi) හි ඇගයීම් සහ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන ආචාර්ය අනිටා හෙයස් ද සමුළුව අමතමින් ප්‍රධාන දේශනයක් සිදුකළාය. ජාත්‍යන්තර අධ්‍යාපනය යනු විශ්ව විද්‍යාලයක සමාජ කාර්යභාරයේ කොටසක් බවත්, සහස්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ජාත්‍යන්තර අධ්‍යාපනය බෙහෙවින් ඉවහල් වූ බවත් ඇය පෙන්වා දුන්නාය. ජාත්‍යන්තර සබඳතාවලදී ගුණාත්මකභාවයේ සහ සමානාත්මතාවයේ අවශ්‍යතාව ද අවධාරණය කළ ඇය, ජාත්‍යන්තර අධ්‍යාපනයේ සම-සංවර්ධනය, සම-ප්‍රදානය සහ සම-ප්‍රතීතනයට උදාහරණ ද ඉදිරිපත් කළාය.

ඉන් අනතුරුව සභාව ඇමතූ ආචාර්ය අතුල පිටිගල ආරච්චි, රාජ්‍ය සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර දෙකෙහිම විශේෂ කාර්යභාරයක් ඉටුකළ ආචාර්යවරයෙකි. දැනට SLIIT හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඔහු, ජාත්‍යන්තර අධ්‍යාපනය යනු ගෝලීය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ යථාර්ථයක් බව පෙන්වා දුන්නේය. රජය විසින් ඊට ලබාදෙන ප්‍රතිපත්තිමය අනුග්‍රහය තුළින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගුණාත්මක උසස් අධ්‍යාපනයට ඇති ඉල්ලුම සපුරාලන අතරම, ප්‍රාග්ධන වැය අවම කිරීමට සහ බුද්ධි ගලනය අවම කිරීමටත්, විදෙස් සිසුන් ආකර්ෂණය කරගැනීම තුළින් විදෙස් විනිමය උත්පාදනයටත්, ශ්‍රී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීමටත් අවස්ථාව පවතින බව ද ඔහු පැවසුවේය.

ජාතික උසස් අධ්‍යාපන සමුළුව එක් දින වැඩසටහනක් වූ අතර, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් අතර සංවාදය, ජාලකරණය සහ සහයෝගීතාව වෙනුවෙන් එහිදී අවකාශය වෙන්කෙරුණි. සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ, ජාත්‍යන්තර අධ්‍යාපන සහයෝගීතා විශ්ව විද්‍යාලයන්හි ආචාර්යවරු, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර ආචාර්යවරු, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිකරණ ආයතනවල ප්‍රධානීන් ආදී සියලුම සබැඳි පාර්ශ්ව එකම ස්ථානයකදී සම්මුඛ කරවා ජාත්‍යන්තර අධ්‍යාපනය තුළින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාගත හැකි දායකත්වය පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම ය. ඒ අනුව එක් ඉදිරිපත්කිරීමක් සහ මණ්ඩප සාකච්ඡා දෙකක් මෙම සමුළුවට ඇතුළත් විය.

සාරාංශයක් ලෙස ගත්කල, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය හැඩගැස්වීමට ජාත්‍යන්තර අධ්‍යයන සහයෝගීතාව තුළින් ලැබෙන දායකත්වය ඇගයීමට මෙම සමුළුව වැදගත් වේදිකාවක් සැපයීය. වේගවත් සහ ගෝලීය තරගකාරීත්වයෙන් යුත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයක් බිහිකරගැනීමට දේශීය සහ විදේශීය ආයතන අතර සහයෝගීතාවේ වැදගත්කම ද සමුළුවේදී අවධාරණය කෙරුණි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව